පින සහ කුසලය එකක් නොව දෙකක් ලෙස දැන ගනිමු !


‘පින’ හෙවත් ‘පුණ්‍ය’ යනු සිත කය වචනය තුළින් කැරෙන යහපත් ක්‍රියාය. එම හොඳ කටයුතු කරන විට ඒ පුද්ගලයා සම්පත් ලබන්නෙක් වෙනවා. විස්තර සහිතව පවසන විට දාන, සීල භාවනා පින්දීම පින් අනුමෝදනාව, බණ ඇසීම, බණ දෙසිම, පිදිය යුත්තන් පිදීම, වතාවත් කිරීම, දෘෂ්ටිය සෘජුකරන කටයුතු ලෙස දහයකට බෙදේ. මේවා දස පුණ්‍ය ක්‍රියාය.

මීළඟට අපි දැනගත යුත්තේ කුසල යනු කුමක් ද? එහි පිනට වඩා වෙනසක් තිබේ ද? යන්නයි.

කුසල් යනු යම් පාප ක්‍රියාවක් සිදු නොවන ස්වභාවයේ පිරිසුදු මනසක් සකස් වීමයි. එනම් අභ්‍යයන්තරයේ තිබෙන ලෝභ, ද්වේශ, මෝහ දවා හැරීම, දුරු කර හැරීමයි. අලෝභය, අද්වේශය, අමෝහය, පර පණ නැසීමෙන් වෙන් වීම, අදත්තාදානයෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම, බොරුවෙන් වෙන්වීම,කේළමෙන් වෙන්වීම, පරුෂ වචනයෙන් වෙන් වීම, සම්ප්‍රපලාපයෙන් වෙන් වීම යනු දස කුසල් වේ. මෙසේ කුසලය කැටි කර කොටස් තුනකින් ද, විස්තර සහිතව කොටස් දහයකින් ද විස්තර කිරිමට පුලුවන්. පාපයෙන් වෙන් වීමම කුසල් කියන බව මෙසේ දැන ගත යුතුය.

හැබැයි පින් කරන පුද්ගලයෙක් ලෝභයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුක්තව කටයුතු කලා නම් ඔහු කල ඒ පිනෙන් කවදාවත් ඔහුව සුගතියක යවන්න හේතු නැහැ. නමුත් උපන් උපන් තැන අදාල සම්පත් බුක්ති විදින්නට හේතු තිබෙනවා.

අපි දැන් හිතමු දානපතියෙක් ඉන්නවා දුගී මගී යාචක ආදි පුද්ගලයන්ට දන් දෙනවා, උදව් උපකාර කරනවා. හැබැයි අනිත් පැත්තෙන් ගෙදර වැඩට ඉන්න වැඩකාරිටවත් ඉන්න දෙන්නේ නෑ. ඇතුලෙන් කරන්නේ බලු වැඩ. රාග, මෝහ දුශ්චරිතයෙන් කරන කටයුතු වලිනුයි අභයන්තරය හැදිලා තියෙන්නේ. මේ කරපු බලු වැඩ නිසා ඔහු උපදිනවා බල්ලෙක් වෙලා. හැබැයි කෝටිපතියෙකුගේ මාලිගාවක. දීපු දානයේ පින කොට්ට, මෙට්ට උඩ ඉදන් විදවනවා. විශේෂ කෑම බීම, බෙහෙත් ආදි.. සාමාන්‍ය මිනිහෙකුටත් නැති සැප සම්පත්තියක් බුක්ති විදිනවා. පින් කරලා මහත් සැප සම්පත්තියකට උරුමකම් ලබපු අතර අකුසලයෙන් තිරිසන් උප්පත්තියකට උරුමකම් ලැබුවා.

එතකොට නිවන් මගට යොමුවන සමහර අයගෙ තියෙන දෘෂ්ඨියක් තමයි .. පින නිවන් මගට බාධාවක් අපි කුසල් විතරයි රැස්කරන්න ඕන, පින් කෙරුවොත් මේ සසර ගමන ඇති වෙනවා, ඒ හින්දා පින් නොකර කුසල් කර ගන්න ඕනෙ, භාවනා කරන්න ඕනෙ, ප්‍රතිපත්ති රකින්න ඕනෙ කියල හිතලා… කටයුතු කරනවා. ඒ..ක සුගතියේ උපදින්න හේතු වෙනවා. හැබැයි දිව්‍ය ලෝකයක ඉපදුනත් අල්පශාක්‍ය දෙවියෙක් වෙනවා. ඔහුට සම්පත් හිගයි. මිනිහෙක් වෙලා උපන්නොත් හොද නුවන ඇතිව උපදිනවා. හැබැයි එදා වේල කන්නෙත් බොහොම අමාරුවෙන්.

එහෙනම් කුසලය සුගතියටත්, අකුසලය දුගතියටත් හේතු වෙනවා. සුගතියේ හෝ දුගතියේ සැප සම්පත් විදීමට කරපු පින් හේතු වෙනවා. ආයුෂ, වර්ණ, සැප, බල, නුවණ ගෙන දෙන ඥාණසම්ප්‍රයුක්තව කරන පින් දහම්, ඒ කිව්වේ යම් කිසි පුද්ගලයෙක් පිනක් කරන මොහොතක එයා අලෝභයෙන් අද්වේශයෙන් අමෝහයෙන් යුක්තව කලා නම් එයාට පිනයි, කුසලයි දෙකම එකට හම්බවෙනවා. එතකොට ඒ ගුණයෙන් උපන්නොත් එහෙම සුගතියක උප්පත්තිය ලබලා අසීමිත සම්පතකටත් හිමිකමත් ලැබෙනවා. දස කුසලයෙන් ජීවත් වෙලා ධර්මානුකූලව කටයුතු කරන කෙනා පිනක් කරලා පැතුමක් පැතුවා නම් එය ඉටු වෙනවා කියල බුදු රජාණන් වසන්සේ දේශණා කර තිබෙනවා.

බුද්ධ දේශනාවේ තියෙන්නේ.. පින් කරන්න බය වෙන්න එපා.. පින කවදාවත් ආර්ය මාර්ගයට බාධාවක් වෙන්නෙ නැහැ කියලයි. සීවලි මහරහතන් වහන්සේගෙ ලැබීම කවදාවත් උන්වහසේගෙ විමුක්තියට බාධාවක් වුණේ නැහැ.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න