ආස්වාද ස්භාවය සහ ගොඩනගන ලෝකය

(ප්‍රක්ඥා ඉන්ද්‍රිය අනෙකුත් ඉන්ද්‍රියන් වලට වඩා බලවත් පුද්ගලයන්ට)

ලෝක සත්වයාට යම් පැවැත්මක් වටිනවා කියලා නිගමනය කිරීමට එය ඇසුරු කරගෙන යම් අස්වාදයක් ගොඩ නැගිය යුතුයි. රූප ආස්වාද, ශබ්ද ආස්වාද, ගන්ධ ආස්වාද, රසාස්වාද, ස්පර්ෂ ආස්වාද, ධර්ම ආස්වාද යන හය ආකාරයක් මුල් කර ගනිමින් ලෝක සත්වයා ආස්වාද භුක්තිය විඳියි. මෙබඳු ආස්වාදයන් ප්‍රිය මධුර ලෙස නිගමනය කිරීමට නම් ලෝක සත්වයාට යම් අසමතුලිත (ඌනතාවයක් ඇති) පද්ධතියක් ගොඩ නැගි තිබිය යුතුයි. තවත් ආකාරයකින් විස්තර කරනවා නම් යම් සමතුලිත (පූර්න) තත්වයකට පත් වූ විටදි එම ආස්වාදයෙන් තවදුරටත් ඔහුට සුවයක් ගෙන නොදෙයි. මේ ගැන උදාහරණ වලින් පැහැදිලි කර ගැනිමෙන් අපට තේරුම් ගැනිමට වඩා පහසු වෙයි.

අපිට බඩගිනි එනවා අපි කෑම කනවා දැන් බඩගින්න නිවෙනවා. නැවතත් ටික වෙලාවකින් බඩගින්න එනවා. දැන් නැවතත් කන්න ඕන. ඒ කිව්වේ යම්කිසි සමතුලිතතාවයකට (පූර්නතාවයකට) පත්වීම (බඩගින්න නිවීම) ටික වෙලාවකටයි තියෙන්නේ, නැවතත් ඌනතාවයකට පත් වෙනවා. ඉතින් ආස්වාදය ගොඩනැගෙන්නෙත් මේ ආකාරය‍ටයි. අපි වඩාත්ම කන්න කැමති කෑමක් කෑමේදි අපට ආස්වාදයක් ලැබෙන නමුත් එහි යම් කිසි සීමාවක් ඉක්මවා ගැනීමේදි එම ආහාරය තව තවත් ආස්වාද නොදෙන තත්වයකට පත්වෙයි (කන්න කන්න අතිරහත් තිත්තයිලු). එහිදී අප සමතුලිත (පූර්න) තත්වයකට පත්වෙයි. නමුත් නැවත අසමතුලිත(ඌනතා) තත්වයකට පත් වූ විට එම ආහාරය අපට නැවතත් ආස්වාදයක් ගෙන දෙයි. ලිංගික ක්‍රියාවලියත් මේ ආකාරයට උදාහරණයක් ලෙසින්ම දැකිය හැක.

එසේ නම් ආස්වාදයක් ලැබිමට නම් අනිවාර්‍යයෙන්ම අසමතුලිත(ඌනතා) තත්වයක් නොහොත් පූර්ණ නොවු තත්වයක් ගොඩ නැගි තිබිය යුතුය. ලෝක සත්වයා මතු මතුත් ආස්වාද බලාපොරොත්තුවෙන් සසර සැරි සැරිමෙදි, එම බලාපොරොත්තු වූ ආස්වාද ලබා දීම සදහා ඉන්ද්‍රියන් හයකින් සමන්විත අසමතුලිත (ඌනතා) තත්වයක්ම සහ එයට ගෝචර වෙන අසමතුලිත ලෝකයක්ම විද්‍යාමාන වෙයි.

පෙර ගොඩ නගපු අසමතුලිත (ඌනතා) තත්වයක් නිසාම ආස්වාද සුව ගෙනන බව ඔවුන් නොදකියි. එම නිසා ආස්වාදන්ට ඡන්දරාගයෙන් බැදී නැවත නැවතත් අසමතුලිත (ඌනතා) තත්වයක්ම හදාගනි.

පංච කාමයන්ගෙන් වෙන් වීමෙන් ධ්‍යාන තත්වයක් ලබා ගන්නා සත්වයන් පංච කාමයන් සුව නොදෙන හා ඉන් සමතුලිත තත්වයකට පත් වුන බ්‍රාක්ම ලෝකයක උපදියි. ආස්වාදන්ගේ ස්භාවය පූර්ණ ලෙස අවබෝද වී එහි ඡන්දරාගයෙන් මිදුන රහතන්වහන්සේ තුන් ලෝකයේම කොතනක යලි හටගන්නද?

උපුටා ගැනීම : මුහුණු පොතේ ආර්‍ය ධම්ම තැබූ සටහන

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

පටිච්චසමුප්පාදය දැකීමට පදවැල දැනගෙන ඉන්න ඕනද?

“යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සති” යමෙක් පටිච්චසමුප්පාදය දකීද ඔහු ධර්මය දකී එසේම යමෙක් ධර්මය දකීද ඔහු පටිච්චසමුප්පාදය දකි. යන බුදුවදනට අනුව දහම් අවබෝධය ලැබු පුද්ගලයකු පටිච්චසමුප්පාදය දැකිය යුතුය.

නමුත් බොහෝ දෙනා සිතා සිටින පරිදි එම ධර්මාවබෝධය ලැබු තැනත්තා, අවිද්‍යා පච්චයා සංඛාරා ආදි පදපෙල දැනගෙන සිටිය යුතුද ? පද පෙල දැන්ගත්ත පලියට දහම් අවබෝධයක් ලැබී තියෙනවාද ? දහම් අවබෝධය ලැබුන කෙනාට පදපෙල නොදැන සිටියා කියා එහි අඩුපාඩුවක් වෙනවද ?

මේ මනරම් ධර්ම දේශනාව අසා එම ගැටය ලෙහා ගමු.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

මනෝවිඥාණයට රූපස්කන්ධයේ සම්බන්ධය

“මනන්ච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාණං” මන ධර්මයන් හා ගැටීමේදි මනෝවිඥාණ උපදි යන සිද්ධානතයට අනුව මනෝ විඥාණ වලට රූපස්කන්ධයක් සම්බන්ධ වන්නේ කොහොමද ?

ඒ වගේම බුද්ධ දේශනාවේ තියෙනවා “රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංඛාරයෙන් තොරව, විඥාණයක් ‍තිබිය නොහැක”.

ඒ අනුව රූපයක් මුල්විය යුතුමයි. එසේ නම් ඉහත ප්‍රශ්නය මේ ගැඹුරු දේශනාවෙන් විසඳා ගනිමු.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

අනිමිසලෝචන පූජාව මහා කළගුණ සැලකීමක් වන්නේ කෙසේද?

අනිමිස ලෝචන පුජාව කියන්නෙ මොකක්ද අහපුවාම සතියක් ඇහිපිය නොහෙලා බෝධීන් වහන්සේ දිහා බලාගෙන හිටියා කියපු කතාව තමයි අපට උගන්නලා තියෙන්නේ. ඇයි එහෙම කලේ කියලා ඇහුවොත්‍ පිට දෙන්න හේතු වෙච්ච නිසා කළගුණ සැලකීමක් හැටියට එය කළා කියල කියනවා. එ‍ත‍කො‍ට‍ ඉ‍දගෙන හිටිය ආසනයට කොච්චර කල ගුණ සලකන්න ඕනෙද‍ කි‍ය‍ල‍ත්‍ ස‍ල‍ක‍ලා‍ බ‍ල‍න්‍න‍ ව‍ටි‍න‍වා‍. ඇත්තටම උන්වහන්සේ සතියක් නිකන් බෝධිය දිහා බලාගෙන හිටියද? සමහර විට මේ‍වා‍ පසේසෙ බු‍දු‍ ද‍හ‍ම‍ට‍ එ‍ක‍තු‍ ක‍ර‍ ගත්ත ආචාර්ය වාද වෙන්න පුළුවන්. අ‍පි‍ මෙ‍තනදි දකින්න ඕනේ සාර අසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා, බුද්ධත්වයට පත් වෙලා සති‍ය‍ක්‍ ග‍ත‍ක‍ර‍ගෙ‍න‍ ක‍ර‍පු‍ ක‍ළගු‍ණ සැලකීම මොකක්ද කියලා.

උන්වහන්සේ බැලුවේ බෝධිය දිහා. දැන් ප්‍රශ්නයක් එනවා මොන බෝධිය දිහාද කියන එක. බෝධි තුනක් තියෙනවා. ලොව්තුරා බෝධිය, පච්චේක බෝධිය, ශ්‍රාවක බෝධිය කියල. යම් කෙනෙක් බුද්ධත්වයට පත් වීම සදහා යම් මාර්ගයක් අනුගමනය කරන්න පටන් ගත්තා නම් මෙන්න මේක තමයි ලොව්තුරා බෝධිය. එතන ඉදගෙන උන් වහන්සේ බැලුවේ බුද්ධත්වයට ආපු මග. කළගුණ සලකන්න මෙන්න මේ මග තමයි බැලුවේ. මොකද, බලාපොරොත්තු වුනු තත්ව තානාන්තරය ලැබුනා. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු ප්‍රතිඵලය ලැබුනා. බලාපොරොත්තුව ඉටු වුනා. බලාපොරොත්තුව ඉටු වුනාට පස්සේ උන් වහන්සේ බැලුවේ මම මෙතනට එන්න කී දෙනෙකුට පොරොන්දු දීල තියෙනවද (මමත් එතෙර වෙලා ඔබත් එතෙර කරන්නම්…), කී දෙනෙක් මට සලකල තියෙනවද, උදව් කරල තියෙනවද, උපකාර කරල තියෙනවද මේ තත්වයට පත්වෙන්න. මම කී දෙනෙකුට යහපතක් කරන්න පොරොන්දු දීලද, තින්දු තීරන දීලද මෙතනට ආවෙ. මෙන්න මේ කාරණය එකක් නෑර සලකලා බැලුවා. උන්වහන්සේගේ මහා ප්‍රඥාව සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුල පාරමිතා පුරපු කාලය බලන්න.. ඊටත් එහා විසි අසංඛ්‍ය කල්පයක් තුල පටන් ගත්ත ආරම්හය මොහොතක් නෑර බලන්න, මහා නුවණ මෙහෙය වන්න දින 7ක් ගියා. ඒ බැලීමෙන් අස්සක් මුල්ලක් නෑර සියලු තැන්, සියලු දේවල් බලාගෙන ගියා. මම යම් අයට පොරොන්දු දීල තියෙනවද.. මගෙන් ඉල්ලීම් කරල තියෙනවද.. ඉල්ලීම් අරගෙන මම අනිත් අයගෙන් ඇප උපස්ථානයක් හරි අරගෙන තියෙනවද.. ඒ ඇප උපස්ථාන දුන්න අය මොනවද මගෙන් ඇහුවේ, මොනවද මගෙන් ඉල්ලා හිටියේ. මම ඒ අයට මොනවද කිව්වේ, කොහෙද ඒවා සිද්ද වුනේ, ඒ අය දැන් කොහෙද ඉන්නේ, මගෙ පොරොන්දුව ඉටු කරන්න පුළුවන්ද දැන්.. මේ ආදී සියල්ල බලන්න තමයි මේ කාලය ගතවුනේ.

ඒ බලා ගැනීමේදී දුටු අයට තමයි මහා කරුණාවෙන් ඊට පස්සෙ ඒ සුදුසු අවස්ථාවන්හිදී උන් වහන්සේ වැඩලා හරි අවශ්‍ය කරන ධර්ම දේශනා කරලා යක්‍ෂයෝ වෙලා හිටපු අය හරි බේර ගත්තේ. මහා විනාශයට යන්න හිටපු මහා මිනීමරුවො හරි එතනින් බේර ගත්තේ. හේතුවකුත් තිබුනා, අවස්ථාවත් හැදිලා තිබුනා. මේ ලෝකෙ තිබුනු විවිධාකාර දේවල් දෘෂ්ඨි වලින් වැහිලා විකෘති වෙලා තිබුනු ලෝකයක් තුල අවශ්‍ය තැනට සුදුසු විදියේ කටයුතු කරලා ඒ ඒ අවස්ථාවන්ට උචිත ප්‍රයෝග සම්පත්ති මුල් කරලා ඒ තැන් වලින් බේර ගත්තා. මෙන්න මේකෙදි අවශ්‍ය කරන්නා වූ මුල් පුරපු වැඩ පිලිවෙල තමයි උන් වහන්සේ කළගුණ සැලකීමට කලේ. දැන් ඕකෙ කොච්චර වටිනාකමක් තියෙනවද…

එහෙනම් බුදුරජාණන් වහන්සේ ඉටු කළගුණ සැලකීම අපි තේ‍රු‍ම්‍ ගත්තා නම් කවදාවත් අධර්ම ලෝකයක් ගොඩ නැගෙන්නෙ නෑ. ඕක ලෝකයට වටිනාම දහම් සෙතක් වෙනවා. ගහක් දිහා බලාගෙන හිටන් හිටියට මේ එකක්වත් තේරෙන්නෙ නෑ. මේකෙ වටිනාකම මොකක්ද කියල දකින්නේ නෑ. එහෙනම් අනිමිස ලෝචනය කිව්වේ උන් වසන්සේ හැරිලා ගස් දිහා බලාගෙන හිටියා කියන එක නෙමෙයි. ඔන්න ඔය කියන බෝධිය කිව්වේ ලොව්තුරා බෝධිය. ලොව්තුරා බෝධිය කියන්නේ ගහක් නෙමෙයි. ජය ශ්‍රී මහා බෝධිය කියන්නේ වෙනම එකක්. ඒක නෑ කියන්නෙ නෑ. ඒක භෞතික වශයෙන් මෙලොව බුද්ධත්වයට පත් වෙන්න පාරමිතා පුරපු බලෙන් බුද්ධත්වයට අවශ්‍ය කරන භාහිර ආයතනයක් වශයෙන් ලොව පහල වෙච්ච දෙයක්.

ඉතින් ඕක තමයි අනිමිස ලෝචන පූජාව දකින ක්‍රමය.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

බෞද්ධයකු සංවේගය උපදවිය යුතු ස්ථාන

බෞද්ධයකු වශයෙන් දැක බලාගෙන සංවේගය උපදවිය යුතු තැන් වශයෙන් සඳහන් වන ස්ථාන හතරක් ලෝක සම්මතයයේ තියෙනවා. මේ ස්ථාන හතර අද බොහෝ බෞද්ධයෝ වැඳ පුදා ගන්නවා. හැබැයි ඉතින් ඕක විතරක් කර කර ඉදලා මැරෙන වෙලාවට මොකෙකුට හරි විනාශයක් කරපු එකක් හරි, වටිනා කියන වස්තුවක් ගැන හිතුනොත් ඒකා යන්නෙ දුගතියකට. මොකද, අපි ලුම්බිණිය, බුද්ධගයාව, ඉසිපතනය සහ කුසිණාරාව වැඳ පුදාගෙන සංවේගය වෙලා අපේ විමුක්තියට එක් කර ගත්ත දෙයක් නැති නිසා. මෙන්න මේකයි අපි හිතන්න ඕනේ.

බුදුපියාණන් වහන්සේ පිරිණිවන් පාන මොහොතට ලඟා වන විට එය දැනගත් ආනන්ද හාමුදුරුවෝ අඞන්න පටන් ගත්තා. එවිට උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කලේ මේ හට ගත්ත සියලුම සංස්කාරයෝ අනිච්ඡයි කියල මම කියල තියෙනව නේද.. හට ගත් යමක් ඇත්නම් විපරිණාමයට පත් වෙනවා, වැනසෙනවා කියලා තියෙනවා නේද. එහෙනම් මොකටද මේ අඞන්නේ.

ඉතින් උන්වහන්සේ මෙසේ වැනසෙන විපරිණාමයට පත්වෙන දේවල් ගැන හිත හිතා වැලපෙන්න කියළා නෙමෙයි කිව්වෙ, එහෙනම් මොකද්ද අපි මේකෙන් දකින්න ඕනේ කියලා ඥාණගෝචර ආකාරයට විමසා බලමු.

ලෝකයට සෙත ශාන්තිය සලසා දුන්න මහා උත්තමයෙක් උපන්න ස්ථානය තියෙනවා, නමුත් උපන්න අවස්ථාව ඉක්ම ගිහිල්ලා. ඒ වගේම බුද්ධත්වයට පත්වුණු ස්ථානය තියෙනවා, නමුත් දැන් කෝ ඒ බුදුන්? එහෙනම් ඒ අවස්ථාවත් දැන් ඉක්ම ගිහිල්ලා. මේ ධර්ම දේශනා කරපු තැන. කෝ දැන් ඒ දේශනාව, ඒකත් දැන් නැහැ. ඊට පස්සේ පිරිණිවන්පාපු තැන, ඒකටත් සිද්ධ වෙලා තියෙන්නේ ඔය ටිකමයි. ඔය අවස්ථා හතරම ඉක්ම ගිහිල්ලා. එම ස්ථානයන්ද විපරිණාමයට විනාශයට පත් වෙමින් තියෙනවා. හැබැයි මේ අවස්තාවන් හතර මුල් කරගෙන ලැබුණ ආධාරයක් තවමත් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි ශ්‍රී සද්ධර්මය. එහෙනම් මේ ධර්මයට සිද්ධ වෙන්නෙත් කවදා හරි අර ස්ථාන හතරට සිදු වුනු ආකාරයට විපරිණාමයට පත් වෙලා වැනසිලා යන එක තමයි. හැබැයි එහෙම වෙච්ච කාලයක නම් අපිට වෙන්නේ සංවේගයට පත් වෙලා අඞන්න තමයි. ඊට කලින් අප්‍රමාදයෙන් යුක්තව තමන් මේ ධර්මය අවබෝධ කර ගන්න ඕනෙ කියල ඊට අදාල කටයුතු ටික කරගන්න පුළුවන්නම්, ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් නම් ඒකයි කරගන්න ඕන. මේවා එකක්වත් වෙනස් නොවී පිහිටන ඒවා නෙමයි. උතුමෙක් පහල වෙලා ශ්‍රී සද්ධර්මය ලොවට දේශනා කිරීමට හේතු වෙච්ච අවස්ථා හතරක් මේ ආකාරයට ගෙවිලා ගිහින්. ඕකයි අපි දකින්න ඕනේ.

තවත් උදාහරණයක් ගන්න පුළුවන්, සැරියුත් මහරහතන් වහන්සේ පිරිණිවන් පාන මොහොතේදි ආනන්ද හාමුදුරුවෝ හඞා වැලෙපෙන විට බුදුපියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, “ඇයි ආනන්ද ඔබ අඞන්නේ සාරිපුත්ත ඔබේ සීලස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවාද , නැත්නම් සමාධි ස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවද..එහෙමත් නැත්නම් ඔබගේ ප්‍රඥා ස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවද.. නැත්නම් ඔබගේ විමුක්ති ස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවද.” ආනන්ද හාමුදුරුවෝ අනේ නෑ ස්වාමීනි..කිව්වාම.. එහෙනම් ඇයි ඔබ අඞන්නේ..උන් වහන්සේ, උන් වහන්සේගේ විමුක්තිය සලසගෙන පිරිනිවන් පෑවා, ඔබ අඞා වැලපිලා ඇති ඵලය මොකක්ද කියළා.

ඉතින් අපි අද ඔය කරන දේ බුදුපියාණන් වහන්සේ අනුමත කල දෙයක් නෙමෙයි. ඉතින් යම් සංවේගයක් පවත්වනවා නම් ඒක පවත්වන්න ඕනෙ මේ විදිහට හිතලයි. හරයක් නැති හිස් ලෝකයක, තව තවත් අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ගිලි ගිලී කරගෙන යන වැඩ පිලිවෙල දැකලයි. මොන අපරාධයක්ද මම මේ කර ගන්නේ මෙච්ච්ර උත්තම අවස්තාවක් ලැබිලත් පංචකාමයන් පස්සේ දුව දුවා ඉන්නේ. අප්‍රමාදව කටයුතු කලොත් විතරයි මට විමුක්තිය සලසාගත හැක්කේ කියළා හිතට ගන්න ඕන. මේ ලෝකේ අනිච්ඡ දුක්ඛ අනත්ථ වශයෙන් වටහා ගන්න ඕන. එතකොටයි අපි ලුම්බිණිය දැක්කා, බුද්ධගයාව දැක්කා, ඉසිපතනය දැක්කා සහා කුසිණාරව දැක්කා වෙන්නෙ.

මූලාශ්‍රය: මෙම ධර්මදේශණාව ඇසුරෙනි

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

දැකිය යුතු සතර පෙරනිමිති

දැකිය යුතු සතර පෙර නිමිතිසතර පෙරනිමිති කියූ සැනින් අපට මතකයට නැගෙන්නේ මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක් සහ පැවදි රුවක් යන කරුණු හතරයි. කුඩා කල පටන් අප සියලු දෙනාම මේ සතර පෙර නිමිති ගැන නොයෙක් විට අසා තිබෙනවා මෙන්ම මෙකල වන විට නොයෙක් නොයෙක් පුද්ගලයන් විසින් මේ සතර පෙර නිමිති ගැන ඉදිරිපත් කරන තර්ක වාදද නැතුවා නොවේ.

සිදුහත් කුමරු අවධියේදී අප මහා බෝසතණාන් වහන්සේට මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක් දකින්නට ඉඩක් නොලැබුනේ කෙසේද යන්න බොහෝ දෙනාගේ විමසිලිමත් මනසට නැගෙන ගැටලුවකි. උදාහරණයක් ලෙස මහාමායා දේවියගේ නැත්නම් සිදුහත් කුමරුගේ මවගේ මරණය පිලිබදව ඔහු නොදැන සිටින්නට ඇත්ද? දිනෙන් දින වයස්ගත වන තම පියාවන සුද්ධෝදන රජු කුමරුන්‍ නොදුටුවේද? නැතහොත් සිදුහත් කුමරුට හෙම්බිරිස්සාවක්වත් සෑදි නැද්ද? ආදී නොයෙක් ගැටලු විමසිලිමත් මනසකට ගෝචර වීම සාමාන්‍ය දෙයකි. ඒ ඔස්සේ සිතන විට පැහැදිලි ඇත්තක් සොයාගන්නට නොහැකිවූවොත් මුලාවූ අදහස් නිගමන වලට පෙළඹීමට හැකිවීමද සාමාන්‍යය දෙයකි. කෙසේ වෙතත් විවෘතව සිතන්නට මනස මෙහෙයවන ඇත්තන් හට මේ සත්‍ය අවබෝධ කරවීම මාගේ උත්සාහයයි.

අපි මෙතනදි හොදින් තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. ඒ යමක් ඒ ඒ ආකාරයෙන්ම යථාර්තවත්ව වටහා ගැනීමත්, උඩින් බලලා ලබා ගන්න අවබෝයත් යන කාරණයයි.

මහල්ලෙක් දැක්කා කියලා කියන්නේ මොකක්ද?

“මේ මහල්ලාත් පෙර දිනයක මම වගේම තරුණ, ශක්තිමත් කයක් ඇතිව සිටි අයෙක් නොවේද? ඉතින් මේ මහල්ලා වගේම මටත් යම් දිනයක මේ වැහැරුණු සිරුරක් ඇතිව මහලු තත්වයට පත්වීමට ‍සිදුවෙනවා නොවේද? එබදු ස්වභාවයක් ඇති මම මේ රූප මදයෙන් මත්වෙලා… රුව ලස්සන කරන්නට, කල් පවත්වන්නට කටයුතු කරමින් එහිම ඇලී ගැලී කටයුතු කරනවා කියන්නේ මොන තරම් මෝඩකමක්ද? මේ මහල්ලාත් මම වගේම තරුණ අවධියේ එසේ මේ රුව පවත්වන්නට කටයුතු කරන්න ඇති. ඒත් ඔහුටත් / ඇයටත් එය කරගන්නට බැරිවෙලා නේද? මොනතරම් හරයක් නැති කටයුතු වලද මම නිරත වෙලා ඉන්නේ…” ලෙසින් ඔබට මහල්ලෙක් දුටු විට සිතුනා නම් අන්න එතකොට ඔබට කියන්න පුළුවන් ඔබ සැබෑවටම මහල්ලෙක් දැක්කා කියලා.

මරණයක් දැක්කා කියලා කියන්නේ මොකක්ද?

“මරණයට පත් පුද්ගලයා වාගේම මමත් කවදාහරි මරණයට පත්වෙනවා. මමත් තවමත් මරණය ඉක්මවලා නැහැ. එහෙනම් එහෙම මරණයට පත්වෙන මම මේ කාම සම්පත්තියක් සුවයි… සුවයි… කියමින් එහිම ඇලී ගැලී සිදුකරන මේ විකාර වැඩපිලිවෙල මොකක්ද? හරයක් නැති වැඩපිලිවෙලක නේද මම මේ නිරත වෙලා ඉන්නේ… මේ පුද්ගලයා වගේම අනාගතයේ මරණයට පත්වෙන මම අද මේ විදියට උඩ පැන.. පැන.. සන්තෝෂ වෙමින් මුලා සහගතව කටයුතු කරන්නේ මොන හරයක් ඇතිවද. ඇත්තටම මේ අල්ලගත්ත එක දෙයක් වත් මේ පුද්ගලයා දැන් ගෙනියනවද?” කියලා මරණයක් දුටු විට ඔබගෙන් කීයෙන් කීදෙනෙකුට සිතෙන්නට ඇතිද? මරණයක් දුටු විට ඔබට එසේ සිතුණා නම් අන්න එතකොට කියන්න පුළුවන් ඔබ සැබෑවටම මරණයක් දැක්කා කියලා.

මේ ආකාරයෙන් මහල්ලා, ලෙඩා, මලකුණ කියන දේ දැකිය යුත්තේ තමන්ගේ ඥාණයෙන්. එතකම් ඉපදීමේ සිට අපේ මරණය තෙක්ම අප විසින් මහල්ලන්, ලෙඩුන්, මරණයන් දහස් ‍ගණනින් දකිනවා, ඒ ගැන අසනවා. ඒත් අප ඇත්තටම සතර පෙර නිමිති දැක්කා වෙන්නේ අපේම ඥාණයෙන් මේ දේවල ඇත්ත ස්වභාවය දැක්ක දවසටයි.

සිදුහත් කුමරුත් ඕන තරම් ඔය මහල්ලන්, ලෙඩුන්, මරණ දකින්නට ඇති. ඒත් උන්වහන්සේගේ ඥානය මුහුකුරා ගිය මොහොතක් තිබුණා. එදින තමයි උයන් කෙළියට යන සිදුහත් කුමරු මහල්ලා, ලෙඩා, මරණය, ඔන්න ඔය විදියට ඥාන ගෝචරව දැක්කේ. එහෙත් ඡන්න ඇමති දැක්කේ අප අතර සිටින බහුතරයක් පිරිස ඇහෙන් දකින මහල්ලා, ලෙඩා, මරණය දකින ආකාරය මිස ඥාන ගෝචරව නොවේ. ඉතින් නුවණින් මේ දැක්ක පෙරනිමිති තුන ගැන මෙනහි කරගෙන යන කොට තමයි දැක්කේ, මේවායෙන් මිදීමට උත්සහා කරන කෙනෙක්, පැවිද්දෙක්. තරුණයෙක් වශයෙන් මේ කරන කටයුතු වල හරයක් නැති බවත් ඒ හරයක් නැති මුලාසහගත වැඩපිලිවෙලින් හැකි ඉක්මනින් මිදිය යුතු බවත් අවබෝධ වූ නිසා තමයි උන්වහන්සේ ලෝකයෙන් මිදෙන්නටත් අප සියලු දෙනාම එයින් මුදවාගන්නටත් පියවරක් ඉදිරියට තැබුවේ.

ඉතින් මේ ලෝකයේ යථාර්තය, යථාර්තයෙන් දැක්කේ නැති එක තමයි දැක්කේ නැහැ කියලා කියන්නේ, පළමු වතාවට දැක්කා කිව්වේ.

අප මහා බෝසතාණන් වහන්සේ දුටුව ආකාරයට යථාර්තවාදිව සතර පෙරනිමිති දැක අපිත් ආර්‍ය මාර්ගයට යොමුවීමට මේ ධර්ම දේශණාව අසමු.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

හරි මාර්ගය දැන ගනිමු

මුලින්ම අපි දැන ගන්න ඕනේ බුදු දහම කියන්නේ දැකලා යන ගමනක් මිස ගිහින් දකින ගමනක් නොවන බව. ඒ කියන්නේ දිනුම කනුවක් තියෙනවා, එකට යන පාරක් තියෙනවා, ඔන්න ඕක මුලින් දකින්න ඕනේ. ඕක දැක්ක කෙනාට කාගෙන්වත් පාර අහන්න ඕනෙත් නෑ දිනුම කනුව කොහෙද කියලා අහන්න ඕනෙත් නෑ. තමන් ඒක දැකලා තියෙන්නෙ. හැබැයි දැක්කට තවම එතනට ගිහිල්ල නෑ. ඊට පස්සේ දැකපු පාර දිගේ ගිහිල්ලා දිනුම කනුව ස්පර්ෂ කරනවා. දැන් මෙතන කාරනා දෙකක් තියෙනවා. එකක් තමයි පාර දැක්කා, දිනුම් කනුව දැක්කා. අනෙක තමයි දැකපු පාර දිගේ අනුගමනය කරමින් ගිහින් දිනුම් කනුව ස්පර්ෂ කලා.

මෙන්න මේ වගෙ බුදු දහම තුල නිවනත් නිවන් මගත් පලමුව දකින්න ඕනෙ. අන්න ඒ දැකපු කෙනාට තමයි ඒ මග අනුගමනය කරන්න පුලුවන්, අනුගමනය කරලා නිවන අත්දකින්න පුලුවන් වෙන්නේ.

මුලිම අපි දැනගන්න ඕනේ ඥානයට ඝෝචර වෙන ධර්මයක් බුදු දහම තුල තියෙනවා. එහි පලවෙනි අවස්ථාවට කියනවා පූර්ව භාග නුවන. ඒකේ ප්‍රතිඵලයට කියනවා “මග නැණ” (මාර්ගක් ඥානය). පූර්ව භාග නුවන පලමුව පහල වෙනවා. මග නැණ පසුව පහල වෙනවා.

මෙන්න මේ පූර්ව භාග නුවන පහල වෙන්නෙ අනිච්ච, දුක්ක, අනත්ත කියන මේ ත්‍රිලක්ෂනය හරියට තේරුම් ගිය දාටයි. මේ පූර්ව භාග නුවනේ යම් අඩු පාඩුවක් තිබුනොත් කවදාවත් ඔහුට මග හරියට පෙනෙන්නෙ නෑ, ඵලය හරියට පෙනෙන්නෙ නෑ. එහෙනම් නොපෙනෙන මග ගමන් කරලා ප්‍රතිඵල ලබන්න බෑ. එහෙනම් අත්‍යාවශම කාරනය වෙන්න ඕනෙ මාර්ගය හරියට පෙන්න ඕනෙ, ඒ මාර්ගය නිසා ලබන නිවන කුමක්ද කියා හරියට දැනෙන්න ඕනෙ, වැටහෙන්න ඕනෙ.

දැන් ඔබට ප්‍රශනයක් ඇති මම කොහෙන්ද පටන් ගන්නේ කියලා. මේ වටිනා ධර්ම දේශණයට සවන් දෙන්න, පටන් ගන්න එක විදිහක් ගැන හොඳට විග්‍රහ කරලා තියෙන්වා.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න