ආර්‍ය මෛත්‍රී භාවනාවෙන් ලබන සැනසීම

ආර්‍ය මෛත්‍රී භාවනාවෙන ලබන සැනසීම“අප ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සාරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම්පුරා අවබෝධ කරගත් අප්‍රමාණ වූ ධර්මස්කන්ධයෙන්, සියලු ලෝවාසීන්ගේ හිත සුව පිණිස දේශනා කොට වදාළා වූ සුඅසු දහසක් ධර්මස්කන්ධය අතරේ මේවන විට අර්ථ විපරීතව සැඟව ගිය දහම් කොටස් බොහෝ වන අතර, මෛත්‍රී භාවනාවද ඒ අතර වූ ඉතා සුවිශේෂී වැදගත්කමක් ඇති දහම් කොටසකි.

බුදුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මෛත්‍රී භාවනම් උන්වහන්සේ හෝ උන්වහන්සේගෙන් අසා දැනගත් කෙනෙකුට හැර වෙනත් කෙනෙකුට දේශනා කළ නොහැක යන්න බුද්ධ දේශනාවයි (සං.නි.5(1)- 218 පිටුව – භලිද්දවසන සූත්‍රය හෙවත් මෙත්ත සුත්‍රය). එකී මෛත්‍රී භාවනාව නම් මෙලොව පරලොව අභිවෘද්ධිය සලසමින් උත්තරීතර වූ ලෝකොත්තර ධ්‍යාන මගඵල ලබා අරිහත්වයෙන් කෙළවර වීමට මග සලසන්නකි. එහෙත් එවන් මහා වටිනාකමක් ඇති ආර්‍ය වූ මෛත්‍රී භාවනාව අද වන විට විද්‍යාමානව පවතීද යන්න සැක සහිතය. මන්ද එසේ විද්‍යාමනව පැවතුනා නම් අදත් ඒ උත්තරීතර වූ ධ්‍යාන මගඵල නොඅඩුව ලැබිය යුතුය.”

ඉහත වචන පෙල “සැඟවුණ බොදු මග යළි පුබුදන – ආර්‍ය මෛත්‍රී භාවනාවෙන් ලබන සැනසීම” යන වටිනා දහම් ග්‍රන්ථයේ පූර්විකාවෙන් උපුටාගන්නා ලද කොටසකි. එම ග්‍රන්ථය පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණු දහම් කරුණු ඇසුරින් නීතිඥ චන්දන සිරිවර්ධන මහතා විසින් සම්පාදනය කරන ලදි.

මෙම වටිනා දහම් ග්‍රන්ථය මෙතැනින් බාගත හැක.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

සාදු කාරය

සාමන්‍යයෙන් බෞද්ධ දරුවකු පූජා ස්ථානයකට එක්කගෙන ගිය දෙමව්පියො පිළිම වහන්සේ පෙන්නලා “මේන්න පුතේ බුදුහාමුදුරුවෝ,  සාදු! කියන්න” කියළා කියනවා අපි ඕන තරම් අහලා ඇති. ඒ වගේම සාදු කාර තුනක් දෙනවත් අහලා ඇති. තවත් අහල ඇති සාදු කාර තුනකට පස්සේ හතරවෙනි දිගට එක ඇදලා කියන සාදු කාරයකුත්. නිකමට හරි කවුරු හරි ඇහුවොත් ඇයි උඹලා සාදු කාර දෙන්නෙ කියලා, අපි දෙන උත්තරෙ මොකද්ද ? අපි බුදුහාමදුරුවන්ට, ස්වාමින්වහන්සේට වදින්නෙ සාදු කියල තමයි කියලා කියන්න පුළුවන්ද. බෞද්ධයන් හැටියට අපි කරන වැඩක් හෝ කියන කතාවක් ඇත්නම් එහෙම කරන්නේ මෙන්න මේ හේතුවටයි කියල අපි ඒ කරණය හොදින් ඤාණවන්තව දැනගෙන තියෙන්නෙ ඕනෙ. එතකොටයි ඒක ඤාණ සම්ප්‍රයුක්තව කරන කටයුත්ත වෙන්නෙ. ඒක නිසා ඒවගෙ උත්තරයක් දීලා පැනලා යන්න බැහැ.

ඉතින් අපි බලමු මේ සාදුකාරයෙ ඇති වටිනාකම, ඇයි අපි සාදු කාර දෙන්නෙ, කුමන යාථාර්තයක්ද මේ සාදු කාරයෙ තියෙන්නෙ කියලා. ඊට කලින් බලන්න වෙනවා අපි සාදු කාර දෙන්නෙ කාටද කියලා, මොන වෙලාවකදි කියලා. කාටද කියලා බැලූවාම පෙනෙනවා බුදුපියාණන් වහන්සේගෙන් පටන් ගෙන සුපටිපන්න ආදි ගුණ ඇති සංඝයා වහන්සේට සහ උන්වහන්සේලා වෙනුවෙන් කරන පූජෝපහාර වලදි තමයි අපි සාදු කාර දෙන්නෙ. එතකොට හොඳින්ම පෙනෙනවා අපි මේ සාදුකාර දෙන්න ගුණවත් උතුමන්ට හෝ උන්වහන්සේලා උදෙසා කරන පුජෝපහාර අනුමෝදන් වීමටයි කියලා. කෙටියෙන් කියනවා නම් ගුණයක් මුල් කරගෙන කරන ඉතාමත් වටිනා කාර්‍යයකට කියලා.

ඉතින් අපි සාදු කාර තුනක් දෙන්නෙ ඇයි ? සහ දිගට ඇදලා හතරවෙනි වතාවටත් සාදු කියන්නෙ ඇයි ?

කායේන සංවරෝ සාධු
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු
සාධු සබ්බත්ත සංවරෝ

පලමු සාදුකාරය කුමක් සඳහාද….”කායේන සංවරෝ සාධූ” . කයින් සංවර වීම සුහද ගුණයක්, සාධු ගුණයක්. “සාධු වාචාය සංවරෝ” වචනයෙන් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්. ඒවාගේම “මනසා සංවරෝ සාධූ” මනසින් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්.”සාධු සබ්බත්ත සංවරෝ” අන්න අර හතර වෙනියට ඇදල දුන්නු සාධුකාරය. සියලු ආකාරයෙන්ම සංවර වීම සාධු ගුණයක්. මෙන්න මේ ටික තමයි අපි ඉස්සෙල්ලාම කියන්න පටන් ගත්තේ ශාසන මාර්ගයට බහින කොටම. කුමක්ද කයින් සංවර වෙනවා කියන්නේ. මොනවද කයින් කෙරෙන දුසිරිත්. ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යචාරය කියන මේ කාරණා තුනකින් පෙන්වා දි තිබෙනවා. මෙන්න මේවායින් වැලකිලා ඉන්නව නම් කයින් සංවර භාවයට පත් වුනා. අන්න පළමු සාදුකාරය දෙන කොට මේ ගුණය මතක් වෙන්න ඕන. තමන් ලඟත් මේ ගුණය තියෙනව නම් තමා කෙරෙහිද සාදු කාරයක් දීගන්න පුළුවන් ඒවගේම බාහිරෙන් මේ ගුණය පෙනෙන්න තියෙන භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස උදේසා සාදුකාරයක් දෙන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමට , ගුණ සංකේතවත් කිරීමට ප්‍රතිමා වහන්සේ, බෝධිරාජයාණන් වහන්සේ, එබඳු වන්නා වූ ප්‍රණ ඝාතයන් නොකෙරන ප්‍රදේශයක්, සොරකමක්, කාමමිත්‍යචාරය නොකරන ප්‍රදේශයකට ගිහාම සාධු ගුණය තියෙන ප්‍රදේශයක් කියන ගුණය මතක් වුනාම සාදු කාරය හිතට එන්න ඕනෙ. මෙන්න මේක තමයි පෙර කාලයේ සාදුකාරයක් නැගෙන්න හේතුව.

දෙවෙනි සාදු කාරය අරගෙන බලමු,  ”සාධු වාචාය සංවරෝ”. වචනයෙන් සංවර වීම සාධු ගුණයක්. කොහොමද ඒ ගුණය ඇති කර ගන්නෙ, මුසාවාදයෙන් වෙන් වුනාම, පිසුනාවාචාවෙන් වෙන් වුනා නම්, පරුෂාවාචාවෙන් වෙන් වුනා නම්, සම්ප්‍රපලාපයෙන් වෙන් වුනා නම්,  අන්න වචනයෙන්  සංවරයි, වචනය සුචරිතයි,  ඒ ගුණය යම් තැනක දැක්කා නම් දෙවෙනි සාදුකාරය මතක් වෙනවා. දෙවෙනි සාධුකාරය දෙන්න සුදුසු තැනක් දකින්න ලැබෙනවා.

තුන්වෙනි සාධුකාරය මොකක්ද “මනසා සංවරෝ සාධූ”. මනසින් සංවර වීම සාධු ගුණයක්. කොහොමද මනසින් සංවර වෙන්නේ. අභිජ්ජා, ව්‍යාපාද, මිතය්‍යාදෘෂ්ඨි කියන මනසින් සිද්ධ වෙන පාප තුනක් තියෙනවා. අසංවරතාවන්, දුෂ්චරිතතාවයන් තුනක්. මෙන්න මේ කියන තුන දැන ගෙන ඇලිමෙන් , ගැටීමෙන් අයින් වෙලා ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් වෙන් වුනු කෙනෙක්ගෙ චිත්ත පාරිශුද්ධිය නැගිලා හිතේ සංවරත්වය හට ගන්නවා. අන්න මනසින් සංවරත්වය හට ගත්තහම ඒක සාධු ගුණයක්.

එහෙනම් තමා තුල හෝ අන් අයෙක් තුල හෝ, ඊට ගැලපෙන ප්‍රදේශයක් දැකලා එවැනි ගුණයක් දැක්කා නම් මෙන්න මෙතනදි තුන් වන සාධුකාරය මතුවෙනවා. කයෙන් , වචනයෙන්, මනසින් යන තුනෙන්ම සංවර තැනක් දැක්කාම “සාධු සබ්බත්ත සංවරෝ” කියල සියලු ආකාරයෙන් සංවරත්වය නිසා සාදු කියනව කියල හතරවෙනි සාදු කාරය දුන්නා. ඉතින් මේ සාදු කාර හතර දුන්නේ  ඔය කියන්නා වූ ගුණ තේරුම් අරගෙන. දස අකුසලයෙන් වෙන් වුනා වූ සුචරිතය තේරුම් අරගෙන, අන්න ඒ සුචරිතගාමී ගුණය මේකයි කියල දැක්කා නම්  මෙන්න මේ දැකීම ඔප්නංවන්න තමයි අපි මේ සාදු කාර තුනක් දුන්නේ. හතරවෙනි සාධුකාරයක් දීල සියලු ආකාරයෙන් සංවරයි කියල චිත්තප්‍රසාදයක් ඇති කරගත්තා.

එහෙනම් යථාර්තවත් ශ්‍රද්ධාවක් ඇති වෙලා, පැහැදීමක් ඇති වෙන්න නම්  ගුණ දැක පැහැදෙන්න ඕනෙ. එහෙනම්  අපි බුදුගුණ දකින්නේ, ඉස්සෙල්ලාම මෙන්න මේ දස අකුසලයෙන් වෙන් වීම සුචරිතයක් කියල තේරුම් අරගෙන. එහෙනම් සාධු කියල විතරක් මදි. සාධු ගුණයට පත් වෙන්න ඕනෙ.

එහෙනම් අපිට තේරුම් ගන්න දෙයක් තියෙනවා,  ඕන එකටයි එපා එකටයි කිසිම තේරුම්ක් නැතුව “සාදු ! සාදු !! සාදු !!!” කියන්නේ නැතුව ගුණයක් දැකලා ගුණයක පිහිටලා දෙන සාදු කාරයේ වටිනාකම.

උපුටා ගැනීම මෙම වටිනා ධර්ම දේශනාව ඇසුරෙනි.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

පින සහ කුසලය එකක් නොව දෙකක් ලෙස දැන ගනිමු !


‘පින’ හෙවත් ‘පුණ්‍ය’ යනු සිත කය වචනය තුළින් කැරෙන යහපත් ක්‍රියාය. එම හොඳ කටයුතු කරන විට ඒ පුද්ගලයා සම්පත් ලබන්නෙක් වෙනවා. විස්තර සහිතව පවසන විට දාන, සීල භාවනා පින්දීම පින් අනුමෝදනාව, බණ ඇසීම, බණ දෙසිම, පිදිය යුත්තන් පිදීම, වතාවත් කිරීම, දෘෂ්ටිය සෘජුකරන කටයුතු ලෙස දහයකට බෙදේ. මේවා දස පුණ්‍ය ක්‍රියාය.

මීළඟට අපි දැනගත යුත්තේ කුසල යනු කුමක් ද? එහි පිනට වඩා වෙනසක් තිබේ ද? යන්නයි.

කුසල් යනු යම් පාප ක්‍රියාවක් සිදු නොවන ස්වභාවයේ පිරිසුදු මනසක් සකස් වීමයි. එනම් අභ්‍යයන්තරයේ තිබෙන ලෝභ, ද්වේශ, මෝහ දවා හැරීම, දුරු කර හැරීමයි. අලෝභය, අද්වේශය, අමෝහය, පර පණ නැසීමෙන් වෙන් වීම, අදත්තාදානයෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම, බොරුවෙන් වෙන්වීම,කේළමෙන් වෙන්වීම, පරුෂ වචනයෙන් වෙන් වීම, සම්ප්‍රපලාපයෙන් වෙන් වීම යනු දස කුසල් වේ. මෙසේ කුසලය කැටි කර කොටස් තුනකින් ද, විස්තර සහිතව කොටස් දහයකින් ද විස්තර කිරිමට පුලුවන්. පාපයෙන් වෙන් වීමම කුසල් කියන බව මෙසේ දැන ගත යුතුය.

හැබැයි පින් කරන පුද්ගලයෙක් ලෝභයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුක්තව කටයුතු කලා නම් ඔහු කල ඒ පිනෙන් කවදාවත් ඔහුව සුගතියක යවන්න හේතු නැහැ. නමුත් උපන් උපන් තැන අදාල සම්පත් බුක්ති විදින්නට හේතු තිබෙනවා.

අපි දැන් හිතමු දානපතියෙක් ඉන්නවා දුගී මගී යාචක ආදි පුද්ගලයන්ට දන් දෙනවා, උදව් උපකාර කරනවා. හැබැයි අනිත් පැත්තෙන් ගෙදර වැඩට ඉන්න වැඩකාරිටවත් ඉන්න දෙන්නේ නෑ. ඇතුලෙන් කරන්නේ බලු වැඩ. රාග, මෝහ දුශ්චරිතයෙන් කරන කටයුතු වලිනුයි අභයන්තරය හැදිලා තියෙන්නේ. මේ කරපු බලු වැඩ නිසා ඔහු උපදිනවා බල්ලෙක් වෙලා. හැබැයි කෝටිපතියෙකුගේ මාලිගාවක. දීපු දානයේ පින කොට්ට, මෙට්ට උඩ ඉදන් විදවනවා. විශේෂ කෑම බීම, බෙහෙත් ආදි.. සාමාන්‍ය මිනිහෙකුටත් නැති සැප සම්පත්තියක් බුක්ති විදිනවා. පින් කරලා මහත් සැප සම්පත්තියකට උරුමකම් ලබපු අතර අකුසලයෙන් තිරිසන් උප්පත්තියකට උරුමකම් ලැබුවා.

එතකොට නිවන් මගට යොමුවන සමහර අයගෙ තියෙන දෘෂ්ඨියක් තමයි .. පින නිවන් මගට බාධාවක් අපි කුසල් විතරයි රැස්කරන්න ඕන, පින් කෙරුවොත් මේ සසර ගමන ඇති වෙනවා, ඒ හින්දා පින් නොකර කුසල් කර ගන්න ඕනෙ, භාවනා කරන්න ඕනෙ, ප්‍රතිපත්ති රකින්න ඕනෙ කියල හිතලා… කටයුතු කරනවා. ඒ..ක සුගතියේ උපදින්න හේතු වෙනවා. හැබැයි දිව්‍ය ලෝකයක ඉපදුනත් අල්පශාක්‍ය දෙවියෙක් වෙනවා. ඔහුට සම්පත් හිගයි. මිනිහෙක් වෙලා උපන්නොත් හොද නුවන ඇතිව උපදිනවා. හැබැයි එදා වේල කන්නෙත් බොහොම අමාරුවෙන්.

එහෙනම් කුසලය සුගතියටත්, අකුසලය දුගතියටත් හේතු වෙනවා. සුගතියේ හෝ දුගතියේ සැප සම්පත් විදීමට කරපු පින් හේතු වෙනවා. ආයුෂ, වර්ණ, සැප, බල, නුවණ ගෙන දෙන ඥාණසම්ප්‍රයුක්තව කරන පින් දහම්, ඒ කිව්වේ යම් කිසි පුද්ගලයෙක් පිනක් කරන මොහොතක එයා අලෝභයෙන් අද්වේශයෙන් අමෝහයෙන් යුක්තව කලා නම් එයාට පිනයි, කුසලයි දෙකම එකට හම්බවෙනවා. එතකොට ඒ ගුණයෙන් උපන්නොත් එහෙම සුගතියක උප්පත්තිය ලබලා අසීමිත සම්පතකටත් හිමිකමත් ලැබෙනවා. දස කුසලයෙන් ජීවත් වෙලා ධර්මානුකූලව කටයුතු කරන කෙනා පිනක් කරලා පැතුමක් පැතුවා නම් එය ඉටු වෙනවා කියල බුදු රජාණන් වසන්සේ දේශණා කර තිබෙනවා.

බුද්ධ දේශනාවේ තියෙන්නේ.. පින් කරන්න බය වෙන්න එපා.. පින කවදාවත් ආර්ය මාර්ගයට බාධාවක් වෙන්නෙ නැහැ කියලයි. සීවලි මහරහතන් වහන්සේගෙ ලැබීම කවදාවත් උන්වහසේගෙ විමුක්තියට බාධාවක් වුණේ නැහැ.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

බෞද්ධයකු සංවේගය උපදවිය යුතු ස්ථාන

බෞද්ධයකු වශයෙන් දැක බලාගෙන සංවේගය උපදවිය යුතු තැන් වශයෙන් සඳහන් වන ස්ථාන හතරක් ලෝක සම්මතයයේ තියෙනවා. මේ ස්ථාන හතර අද බොහෝ බෞද්ධයෝ වැඳ පුදා ගන්නවා. හැබැයි ඉතින් ඕක විතරක් කර කර ඉදලා මැරෙන වෙලාවට මොකෙකුට හරි විනාශයක් කරපු එකක් හරි, වටිනා කියන වස්තුවක් ගැන හිතුනොත් ඒකා යන්නෙ දුගතියකට. මොකද, අපි ලුම්බිණිය, බුද්ධගයාව, ඉසිපතනය සහ කුසිණාරාව වැඳ පුදාගෙන සංවේගය වෙලා අපේ විමුක්තියට එක් කර ගත්ත දෙයක් නැති නිසා. මෙන්න මේකයි අපි හිතන්න ඕනේ.

බුදුපියාණන් වහන්සේ පිරිණිවන් පාන මොහොතට ලඟා වන විට එය දැනගත් ආනන්ද හාමුදුරුවෝ අඞන්න පටන් ගත්තා. එවිට උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කලේ මේ හට ගත්ත සියලුම සංස්කාරයෝ අනිච්ඡයි කියල මම කියල තියෙනව නේද.. හට ගත් යමක් ඇත්නම් විපරිණාමයට පත් වෙනවා, වැනසෙනවා කියලා තියෙනවා නේද. එහෙනම් මොකටද මේ අඞන්නේ.

ඉතින් උන්වහන්සේ මෙසේ වැනසෙන විපරිණාමයට පත්වෙන දේවල් ගැන හිත හිතා වැලපෙන්න කියළා නෙමෙයි කිව්වෙ, එහෙනම් මොකද්ද අපි මේකෙන් දකින්න ඕනේ කියලා ඥාණගෝචර ආකාරයට විමසා බලමු.

ලෝකයට සෙත ශාන්තිය සලසා දුන්න මහා උත්තමයෙක් උපන්න ස්ථානය තියෙනවා, නමුත් උපන්න අවස්ථාව ඉක්ම ගිහිල්ලා. ඒ වගේම බුද්ධත්වයට පත්වුණු ස්ථානය තියෙනවා, නමුත් දැන් කෝ ඒ බුදුන්? එහෙනම් ඒ අවස්ථාවත් දැන් ඉක්ම ගිහිල්ලා. මේ ධර්ම දේශනා කරපු තැන. කෝ දැන් ඒ දේශනාව, ඒකත් දැන් නැහැ. ඊට පස්සේ පිරිණිවන්පාපු තැන, ඒකටත් සිද්ධ වෙලා තියෙන්නේ ඔය ටිකමයි. ඔය අවස්ථා හතරම ඉක්ම ගිහිල්ලා. එම ස්ථානයන්ද විපරිණාමයට විනාශයට පත් වෙමින් තියෙනවා. හැබැයි මේ අවස්තාවන් හතර මුල් කරගෙන ලැබුණ ආධාරයක් තවමත් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි ශ්‍රී සද්ධර්මය. එහෙනම් මේ ධර්මයට සිද්ධ වෙන්නෙත් කවදා හරි අර ස්ථාන හතරට සිදු වුනු ආකාරයට විපරිණාමයට පත් වෙලා වැනසිලා යන එක තමයි. හැබැයි එහෙම වෙච්ච කාලයක නම් අපිට වෙන්නේ සංවේගයට පත් වෙලා අඞන්න තමයි. ඊට කලින් අප්‍රමාදයෙන් යුක්තව තමන් මේ ධර්මය අවබෝධ කර ගන්න ඕනෙ කියල ඊට අදාල කටයුතු ටික කරගන්න පුළුවන්නම්, ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් නම් ඒකයි කරගන්න ඕන. මේවා එකක්වත් වෙනස් නොවී පිහිටන ඒවා නෙමයි. උතුමෙක් පහල වෙලා ශ්‍රී සද්ධර්මය ලොවට දේශනා කිරීමට හේතු වෙච්ච අවස්ථා හතරක් මේ ආකාරයට ගෙවිලා ගිහින්. ඕකයි අපි දකින්න ඕනේ.

තවත් උදාහරණයක් ගන්න පුළුවන්, සැරියුත් මහරහතන් වහන්සේ පිරිණිවන් පාන මොහොතේදි ආනන්ද හාමුදුරුවෝ හඞා වැලෙපෙන විට බුදුපියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, “ඇයි ආනන්ද ඔබ අඞන්නේ සාරිපුත්ත ඔබේ සීලස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවාද , නැත්නම් සමාධි ස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවද..එහෙමත් නැත්නම් ඔබගේ ප්‍රඥා ස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවද.. නැත්නම් ඔබගේ විමුක්ති ස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවද.” ආනන්ද හාමුදුරුවෝ අනේ නෑ ස්වාමීනි..කිව්වාම.. එහෙනම් ඇයි ඔබ අඞන්නේ..උන් වහන්සේ, උන් වහන්සේගේ විමුක්තිය සලසගෙන පිරිනිවන් පෑවා, ඔබ අඞා වැලපිලා ඇති ඵලය මොකක්ද කියළා.

ඉතින් අපි අද ඔය කරන දේ බුදුපියාණන් වහන්සේ අනුමත කල දෙයක් නෙමෙයි. ඉතින් යම් සංවේගයක් පවත්වනවා නම් ඒක පවත්වන්න ඕනෙ මේ විදිහට හිතලයි. හරයක් නැති හිස් ලෝකයක, තව තවත් අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ගිලි ගිලී කරගෙන යන වැඩ පිලිවෙල දැකලයි. මොන අපරාධයක්ද මම මේ කර ගන්නේ මෙච්ච්ර උත්තම අවස්තාවක් ලැබිලත් පංචකාමයන් පස්සේ දුව දුවා ඉන්නේ. අප්‍රමාදව කටයුතු කලොත් විතරයි මට විමුක්තිය සලසාගත හැක්කේ කියළා හිතට ගන්න ඕන. මේ ලෝකේ අනිච්ඡ දුක්ඛ අනත්ථ වශයෙන් වටහා ගන්න ඕන. එතකොටයි අපි ලුම්බිණිය දැක්කා, බුද්ධගයාව දැක්කා, ඉසිපතනය දැක්කා සහා කුසිණාරව දැක්කා වෙන්නෙ.

මූලාශ්‍රය: මෙම ධර්මදේශණාව ඇසුරෙනි

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න