දැකිය යුතු සතර පෙරනිමිති

දැකිය යුතු සතර පෙර නිමිතිසතර පෙරනිමිති කියූ සැනින් අපට මතකයට නැගෙන්නේ මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක් සහ පැවදි රුවක් යන කරුණු හතරයි. කුඩා කල පටන් අප සියලු දෙනාම මේ සතර පෙර නිමිති ගැන නොයෙක් විට අසා තිබෙනවා මෙන්ම මෙකල වන විට නොයෙක් නොයෙක් පුද්ගලයන් විසින් මේ සතර පෙර නිමිති ගැන ඉදිරිපත් කරන තර්ක වාදද නැතුවා නොවේ.

සිදුහත් කුමරු අවධියේදී අප මහා බෝසතණාන් වහන්සේට මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක් දකින්නට ඉඩක් නොලැබුනේ කෙසේද යන්න බොහෝ දෙනාගේ විමසිලිමත් මනසට නැගෙන ගැටලුවකි. උදාහරණයක් ලෙස මහාමායා දේවියගේ නැත්නම් සිදුහත් කුමරුගේ මවගේ මරණය පිලිබදව ඔහු නොදැන සිටින්නට ඇත්ද? දිනෙන් දින වයස්ගත වන තම පියාවන සුද්ධෝදන රජු කුමරුන්‍ නොදුටුවේද? නැතහොත් සිදුහත් කුමරුට හෙම්බිරිස්සාවක්වත් සෑදි නැද්ද? ආදී නොයෙක් ගැටලු විමසිලිමත් මනසකට ගෝචර වීම සාමාන්‍ය දෙයකි. ඒ ඔස්සේ සිතන විට පැහැදිලි ඇත්තක් සොයාගන්නට නොහැකිවූවොත් මුලාවූ අදහස් නිගමන වලට පෙළඹීමට හැකිවීමද සාමාන්‍යය දෙයකි. කෙසේ වෙතත් විවෘතව සිතන්නට මනස මෙහෙයවන ඇත්තන් හට මේ සත්‍ය අවබෝධ කරවීම මාගේ උත්සාහයයි.

අපි මෙතනදි හොදින් තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. ඒ යමක් ඒ ඒ ආකාරයෙන්ම යථාර්තවත්ව වටහා ගැනීමත්, උඩින් බලලා ලබා ගන්න අවබෝයත් යන කාරණයයි.

මහල්ලෙක් දැක්කා කියලා කියන්නේ මොකක්ද?

“මේ මහල්ලාත් පෙර දිනයක මම වගේම තරුණ, ශක්තිමත් කයක් ඇතිව සිටි අයෙක් නොවේද? ඉතින් මේ මහල්ලා වගේම මටත් යම් දිනයක මේ වැහැරුණු සිරුරක් ඇතිව මහලු තත්වයට පත්වීමට ‍සිදුවෙනවා නොවේද? එබදු ස්වභාවයක් ඇති මම මේ රූප මදයෙන් මත්වෙලා… රුව ලස්සන කරන්නට, කල් පවත්වන්නට කටයුතු කරමින් එහිම ඇලී ගැලී කටයුතු කරනවා කියන්නේ මොන තරම් මෝඩකමක්ද? මේ මහල්ලාත් මම වගේම තරුණ අවධියේ එසේ මේ රුව පවත්වන්නට කටයුතු කරන්න ඇති. ඒත් ඔහුටත් / ඇයටත් එය කරගන්නට බැරිවෙලා නේද? මොනතරම් හරයක් නැති කටයුතු වලද මම නිරත වෙලා ඉන්නේ…” ලෙසින් ඔබට මහල්ලෙක් දුටු විට සිතුනා නම් අන්න එතකොට ඔබට කියන්න පුළුවන් ඔබ සැබෑවටම මහල්ලෙක් දැක්කා කියලා.

මරණයක් දැක්කා කියලා කියන්නේ මොකක්ද?

“මරණයට පත් පුද්ගලයා වාගේම මමත් කවදාහරි මරණයට පත්වෙනවා. මමත් තවමත් මරණය ඉක්මවලා නැහැ. එහෙනම් එහෙම මරණයට පත්වෙන මම මේ කාම සම්පත්තියක් සුවයි… සුවයි… කියමින් එහිම ඇලී ගැලී සිදුකරන මේ විකාර වැඩපිලිවෙල මොකක්ද? හරයක් නැති වැඩපිලිවෙලක නේද මම මේ නිරත වෙලා ඉන්නේ… මේ පුද්ගලයා වගේම අනාගතයේ මරණයට පත්වෙන මම අද මේ විදියට උඩ පැන.. පැන.. සන්තෝෂ වෙමින් මුලා සහගතව කටයුතු කරන්නේ මොන හරයක් ඇතිවද. ඇත්තටම මේ අල්ලගත්ත එක දෙයක් වත් මේ පුද්ගලයා දැන් ගෙනියනවද?” කියලා මරණයක් දුටු විට ඔබගෙන් කීයෙන් කීදෙනෙකුට සිතෙන්නට ඇතිද? මරණයක් දුටු විට ඔබට එසේ සිතුණා නම් අන්න එතකොට කියන්න පුළුවන් ඔබ සැබෑවටම මරණයක් දැක්කා කියලා.

මේ ආකාරයෙන් මහල්ලා, ලෙඩා, මලකුණ කියන දේ දැකිය යුත්තේ තමන්ගේ ඥාණයෙන්. එතකම් ඉපදීමේ සිට අපේ මරණය තෙක්ම අප විසින් මහල්ලන්, ලෙඩුන්, මරණයන් දහස් ‍ගණනින් දකිනවා, ඒ ගැන අසනවා. ඒත් අප ඇත්තටම සතර පෙර නිමිති දැක්කා වෙන්නේ අපේම ඥාණයෙන් මේ දේවල ඇත්ත ස්වභාවය දැක්ක දවසටයි.

සිදුහත් කුමරුත් ඕන තරම් ඔය මහල්ලන්, ලෙඩුන්, මරණ දකින්නට ඇති. ඒත් උන්වහන්සේගේ ඥානය මුහුකුරා ගිය මොහොතක් තිබුණා. එදින තමයි උයන් කෙළියට යන සිදුහත් කුමරු මහල්ලා, ලෙඩා, මරණය, ඔන්න ඔය විදියට ඥාන ගෝචරව දැක්කේ. එහෙත් ඡන්න ඇමති දැක්කේ අප අතර සිටින බහුතරයක් පිරිස ඇහෙන් දකින මහල්ලා, ලෙඩා, මරණය දකින ආකාරය මිස ඥාන ගෝචරව නොවේ. ඉතින් නුවණින් මේ දැක්ක පෙරනිමිති තුන ගැන මෙනහි කරගෙන යන කොට තමයි දැක්කේ, මේවායෙන් මිදීමට උත්සහා කරන කෙනෙක්, පැවිද්දෙක්. තරුණයෙක් වශයෙන් මේ කරන කටයුතු වල හරයක් නැති බවත් ඒ හරයක් නැති මුලාසහගත වැඩපිලිවෙලින් හැකි ඉක්මනින් මිදිය යුතු බවත් අවබෝධ වූ නිසා තමයි උන්වහන්සේ ලෝකයෙන් මිදෙන්නටත් අප සියලු දෙනාම එයින් මුදවාගන්නටත් පියවරක් ඉදිරියට තැබුවේ.

ඉතින් මේ ලෝකයේ යථාර්තය, යථාර්තයෙන් දැක්කේ නැති එක තමයි දැක්කේ නැහැ කියලා කියන්නේ, පළමු වතාවට දැක්කා කිව්වේ.

අප මහා බෝසතාණන් වහන්සේ දුටුව ආකාරයට යථාර්තවාදිව සතර පෙරනිමිති දැක අපිත් ආර්‍ය මාර්ගයට යොමුවීමට මේ ධර්ම දේශණාව අසමු.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

මළ ගෙවල්වල එල්ලෙන “අනිච්ඡාවත සංඛාරා” බැනර් එක

අපි මළගෙයකට ගියාම, ගොඩක් වෙලාවට දකින එකක් තමයි, “අනිච්ඡාවත සංඛාරා” ලොකු කළු අකුරෙන් ලියලා බැනර් එකක් එල්ලලා තියෙනවා. ඉතින් නිකමටවත් අපිට හිතුනද මොකක්ද මේ කියලා තියෙන්නේ? මේකෙ සැඟවුණු දහම් අරුතක් තියෙනවාද කියළා. ඇහුවාම කියන්නේ “සියළුම සංස්කාරයෝ අනිත්‍යයි” කියළානේ. ඕකෙන් මොනවද අපි දැකපු සත්‍ය. මෙයින් කියවෙන ධර්මතාවය ගැන අවබෝධ වී ඇත්තේ කීයෙන් කීදෙනාටද. මෙම ගාථාව අරිහතුන් වහන්සේලා නිතර භාවිතා කරපු, අවබෝධ කරගත්ත ධර්මතාවයේ ගාථාවක්. මහරහතන් වහන්සේලා තමන්ගේ යථාවබෝධය ලැබුනායින් පසු උන් වහන්සේලා මේ ලෝකේ දැක්ක හැටි විස්තර කරන ගාථාවක්.

සාරයි කියන දෘෂ්ඨියේ ඉඳගෙන, හිතනවා නම්, කියනවා නම්, කරනවා නම්, ඔය වැඩ පිළිවෙල කැමති සේ නැති වැඩ පිළිවෙලක්. කැමති සේ පවත්වාගෙන යන්න උත්සහ කරන, කැමතිසේ පවත්වන්න බැරි වැඩ පිළිවලක්. සංඛාර අනිච්ඡයි කිව්වේ ඕකයි. එදා කෙනෙක් මිය ගිය පසු ඔහුගේ හෝ ඇයගේ මළ ගෙදර වැඩිය ආර්‍යය භික්‍ෂූන්වහන්සේ, සංඛාරයන්ගේ අනිච්ඡතාවය පෙන්වන්න හොඳම අවස්ථාව ලෙස ගෙන ඕක විස්තර කලා.

මෙය උපමා වශයෙන් බලමු. හොඳම උදාහරණය ලගම තියෙනවා. මෙච්චර කල් හිතන් හිටියේ කොහොමද ලෝකේ අල්ලන්න නේද දැඟලුවේ ඉන්නකල්. ලොකුකම් කරගෙන, ගහබැන ගෙන, මරාගෙන ,අයිතිවාසිකම් කියාගෙන කොහොමද හිටියේ. මොකද අද වුනේ. ලස්සන කරන්න, හැඩ වැඩ කරන්න, සුන්දර කරන්න, මේ ශරිරය පෝෂණය කරන්න දඟලලා අද මොකද වෙලා තියෙන්නේ. ඔය කරපු වැඩ පිලිවෙලේ හරය දැන් පේනවා නේද. අපේ කැමැත්ත, හොද හැටියට පවත්ව ගන්න. නමුත් උනේ මොකක්ද ඔක්කොම නැතිවෙලා ගියා. මෙන්න මේ ශරිරය දිහා බලලා ඕක තේරුම් ගන්න කියලා එදා හිටපු පිරිසට ධර්මයක් දේශනා කලා. ඔය හරියටම දැකලා අවබෝධ කරගෙන කියූ ගාථාව තමයි අද සම්ප්‍රදායක් විදියට මළ ගෙදරට ඇවිල්ලා භික්ෂූන් වහන්සේලා දැන් කියන්නේ.

ඕක බලාගෙන හිතාගන්න ඔය ගොල්ලොත් ඉපදුනා නම් ඔය වගේම වැනසිලා යනවා. හදාගෙන, රැකගෙන, පෝෂණය කරගෙන ඉන්න හැදුවත් හම්බවෙන්නේ නැහැ. ඔය අසහනය නවත්වා ගත්තේ නැත්නම් ගමන ඉවර නැහැ. නැවතක් ඔය වගේ දෙයකට උරුමකම් කියනවා. ඕක තමයි අපි මෙච්චර කල් ආපු ගමන. ඔය ගමනෙ හරයක් හම්බවුනාද ? එහෙනම් මොකද්ද හරය. ඔය බලාපොරොත්තු සදහටම නැතිවෙලා ගියා නම් එදාට අසහනයෙන් නිදහස් වෙනවා, පැවැත්මෙනුත් නිදහස් වෙනවා. ඔය මළ මිනිය බලලා ඕක තේරුම් ගන්න කියලා විග්‍රහ කරලා දුන්නා.

(ඉහත කරුනු සම්පාදනය කලේ මේ ධර්මදේශණාව ඇසුරෙන්)

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

හරි මාර්ගය දැන ගනිමු

මුලින්ම අපි දැන ගන්න ඕනේ බුදු දහම කියන්නේ දැකලා යන ගමනක් මිස ගිහින් දකින ගමනක් නොවන බව. ඒ කියන්නේ දිනුම කනුවක් තියෙනවා, එකට යන පාරක් තියෙනවා, ඔන්න ඕක මුලින් දකින්න ඕනේ. ඕක දැක්ක කෙනාට කාගෙන්වත් පාර අහන්න ඕනෙත් නෑ දිනුම කනුව කොහෙද කියලා අහන්න ඕනෙත් නෑ. තමන් ඒක දැකලා තියෙන්නෙ. හැබැයි දැක්කට තවම එතනට ගිහිල්ල නෑ. ඊට පස්සේ දැකපු පාර දිගේ ගිහිල්ලා දිනුම කනුව ස්පර්ෂ කරනවා. දැන් මෙතන කාරනා දෙකක් තියෙනවා. එකක් තමයි පාර දැක්කා, දිනුම් කනුව දැක්කා. අනෙක තමයි දැකපු පාර දිගේ අනුගමනය කරමින් ගිහින් දිනුම් කනුව ස්පර්ෂ කලා.

මෙන්න මේ වගෙ බුදු දහම තුල නිවනත් නිවන් මගත් පලමුව දකින්න ඕනෙ. අන්න ඒ දැකපු කෙනාට තමයි ඒ මග අනුගමනය කරන්න පුලුවන්, අනුගමනය කරලා නිවන අත්දකින්න පුලුවන් වෙන්නේ.

මුලිම අපි දැනගන්න ඕනේ ඥානයට ඝෝචර වෙන ධර්මයක් බුදු දහම තුල තියෙනවා. එහි පලවෙනි අවස්ථාවට කියනවා පූර්ව භාග නුවන. ඒකේ ප්‍රතිඵලයට කියනවා “මග නැණ” (මාර්ගක් ඥානය). පූර්ව භාග නුවන පලමුව පහල වෙනවා. මග නැණ පසුව පහල වෙනවා.

මෙන්න මේ පූර්ව භාග නුවන පහල වෙන්නෙ අනිච්ච, දුක්ක, අනත්ත කියන මේ ත්‍රිලක්ෂනය හරියට තේරුම් ගිය දාටයි. මේ පූර්ව භාග නුවනේ යම් අඩු පාඩුවක් තිබුනොත් කවදාවත් ඔහුට මග හරියට පෙනෙන්නෙ නෑ, ඵලය හරියට පෙනෙන්නෙ නෑ. එහෙනම් නොපෙනෙන මග ගමන් කරලා ප්‍රතිඵල ලබන්න බෑ. එහෙනම් අත්‍යාවශම කාරනය වෙන්න ඕනෙ මාර්ගය හරියට පෙන්න ඕනෙ, ඒ මාර්ගය නිසා ලබන නිවන කුමක්ද කියා හරියට දැනෙන්න ඕනෙ, වැටහෙන්න ඕනෙ.

දැන් ඔබට ප්‍රශනයක් ඇති මම කොහෙන්ද පටන් ගන්නේ කියලා. මේ වටිනා ධර්ම දේශණයට සවන් දෙන්න, පටන් ගන්න එක විදිහක් ගැන හොඳට විග්‍රහ කරලා තියෙන්වා.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න