ආස්වාද ස්භාවය සහ ගොඩනගන ලෝකය

(ප්‍රක්ඥා ඉන්ද්‍රිය අනෙකුත් ඉන්ද්‍රියන් වලට වඩා බලවත් පුද්ගලයන්ට)

ලෝක සත්වයාට යම් පැවැත්මක් වටිනවා කියලා නිගමනය කිරීමට එය ඇසුරු කරගෙන යම් අස්වාදයක් ගොඩ නැගිය යුතුයි. රූප ආස්වාද, ශබ්ද ආස්වාද, ගන්ධ ආස්වාද, රසාස්වාද, ස්පර්ෂ ආස්වාද, ධර්ම ආස්වාද යන හය ආකාරයක් මුල් කර ගනිමින් ලෝක සත්වයා ආස්වාද භුක්තිය විඳියි. මෙබඳු ආස්වාදයන් ප්‍රිය මධුර ලෙස නිගමනය කිරීමට නම් ලෝක සත්වයාට යම් අසමතුලිත (ඌනතාවයක් ඇති) පද්ධතියක් ගොඩ නැගි තිබිය යුතුයි. තවත් ආකාරයකින් විස්තර කරනවා නම් යම් සමතුලිත (පූර්න) තත්වයකට පත් වූ විටදි එම ආස්වාදයෙන් තවදුරටත් ඔහුට සුවයක් ගෙන නොදෙයි. මේ ගැන උදාහරණ වලින් පැහැදිලි කර ගැනිමෙන් අපට තේරුම් ගැනිමට වඩා පහසු වෙයි.

අපිට බඩගිනි එනවා අපි කෑම කනවා දැන් බඩගින්න නිවෙනවා. නැවතත් ටික වෙලාවකින් බඩගින්න එනවා. දැන් නැවතත් කන්න ඕන. ඒ කිව්වේ යම්කිසි සමතුලිතතාවයකට (පූර්නතාවයකට) පත්වීම (බඩගින්න නිවීම) ටික වෙලාවකටයි තියෙන්නේ, නැවතත් ඌනතාවයකට පත් වෙනවා. ඉතින් ආස්වාදය ගොඩනැගෙන්නෙත් මේ ආකාරය‍ටයි. අපි වඩාත්ම කන්න කැමති කෑමක් කෑමේදි අපට ආස්වාදයක් ලැබෙන නමුත් එහි යම් කිසි සීමාවක් ඉක්මවා ගැනීමේදි එම ආහාරය තව තවත් ආස්වාද නොදෙන තත්වයකට පත්වෙයි (කන්න කන්න අතිරහත් තිත්තයිලු). එහිදී අප සමතුලිත (පූර්න) තත්වයකට පත්වෙයි. නමුත් නැවත අසමතුලිත(ඌනතා) තත්වයකට පත් වූ විට එම ආහාරය අපට නැවතත් ආස්වාදයක් ගෙන දෙයි. ලිංගික ක්‍රියාවලියත් මේ ආකාරයට උදාහරණයක් ලෙසින්ම දැකිය හැක.

එසේ නම් ආස්වාදයක් ලැබිමට නම් අනිවාර්‍යයෙන්ම අසමතුලිත(ඌනතා) තත්වයක් නොහොත් පූර්ණ නොවු තත්වයක් ගොඩ නැගි තිබිය යුතුය. ලෝක සත්වයා මතු මතුත් ආස්වාද බලාපොරොත්තුවෙන් සසර සැරි සැරිමෙදි, එම බලාපොරොත්තු වූ ආස්වාද ලබා දීම සදහා ඉන්ද්‍රියන් හයකින් සමන්විත අසමතුලිත (ඌනතා) තත්වයක්ම සහ එයට ගෝචර වෙන අසමතුලිත ලෝකයක්ම විද්‍යාමාන වෙයි.

පෙර ගොඩ නගපු අසමතුලිත (ඌනතා) තත්වයක් නිසාම ආස්වාද සුව ගෙනන බව ඔවුන් නොදකියි. එම නිසා ආස්වාදන්ට ඡන්දරාගයෙන් බැදී නැවත නැවතත් අසමතුලිත (ඌනතා) තත්වයක්ම හදාගනි.

පංච කාමයන්ගෙන් වෙන් වීමෙන් ධ්‍යාන තත්වයක් ලබා ගන්නා සත්වයන් පංච කාමයන් සුව නොදෙන හා ඉන් සමතුලිත තත්වයකට පත් වුන බ්‍රාක්ම ලෝකයක උපදියි. ආස්වාදන්ගේ ස්භාවය පූර්ණ ලෙස අවබෝද වී එහි ඡන්දරාගයෙන් මිදුන රහතන්වහන්සේ තුන් ලෝකයේම කොතනක යලි හටගන්නද?

උපුටා ගැනීම : මුහුණු පොතේ ආර්‍ය ධම්ම තැබූ සටහන

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

බුද්ධානුස්සතිය වඩමු

අසම සමවූ බුදුරජාණන් වහන්සේගේ චරියා රටාව පිළිබදව සියලු ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන් සමතෙක් තුන් ලෝකෙවත් නැහැ. ඒ හැකියාව ඇත්තේ තවත් ලොව්තුරා බුදු කෙනෙකුටම පමණයි. සියළු ආකාරයෙන් පූර්ණ වුනු කිසිම තැනක වරදක් අඩුපාඩුවක් නැති චරිතයක් බුදු රජාණන් වහන්සේට තිබුනේය යන්න බුද්ධ දේශනා වලින්ම දැක ගන්න පුළුවන්.

“මහණෙනි, නුඹලාට බයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැන්මක් ඇති වුණහොත් ඒ අවස්ථාවේදීම මාව සිහි කරන්න. ඒකාන්තයෙන් ඒ බය නැති වෙලා යනවා. කුමක් නිසාද, මහණෙනි තථාගතයන් වහන්සේ අරිහත් සම්මා සම්බුද්ධයි, වීත රාගියි, වීත දෝෂයි, වීත මෝහයි, බය ගන්නෙ නෑ, තැති ගන්නෙ නෑ, පලා යන්නෙ නෑ”

මෙන්න මේ ගුණයෙන් බුදු රජාණන් වහන්සේ පුර්ණයි. එසේ නම් ශ්‍රාවකයන් වශයෙන් ඔබලා බුදු ගුණ සිහි කරනවා නම්, ඔබලාට ඒ කියන්නා වූ ආශිර්වාදය ලැබෙනවා. මෙන්න මේ ගුණ අපිට වැඩෙන්න නම්, අංශු මාත්‍රයකින් හරි අපි ඒ ගුණයට එන්න ඕනෙ. මේ අප්‍රමාණ ගුණ කැටි කරලා දේශනාවක් කරල තියෙනවා මෙන්න මේ විදිහට,

“අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝක විදූ, අනුත්තරෝ පුරිස ධම්මසාරති, සත්ථා දේව මනුස්සානං, බුද්ධෝ, භගවාති”

අපිට පුළුවන් මේ අප්‍රමාණ ගුණ නිතර දෙවේලේ කියමින් හෝ සිහිකරමින් ශාන්තියක් උදා කරගන්න. නමුත් එහෙම දෙයක් දැනට ලැබෙන පාටක් නැහැ, ඒ කිව්වෙ කොහේ හරි අපිට වැරදිලා තියෙනවා, ඒකට හේතුව තමයි අපි මෙච්චර කල් ඉපිසෝ භගවා…කියල පටන් අරගෙන තමයි බුදු ගුණ කර්මස්තානය කලේ. ඒ කිව්වෙ වචන දෙකක් එකපාරට එකට කියනවා නමුත් හරි විදිහ නම්, මෙහි “ඉතිපි සෝ” වචන දෙකක් විදියට ශබ්ද කරන්න ඕනෙ.

“ඉතිපිසෝ” කියද්දි “ඉෂ්ඨත්වය පිස දැමූ” කියන අර්ථයයි හැඟවෙන්නේ. “ඉතිපි සෝ භගවා” කියද්දි මෙසේ මෙසේ කාරණා වලින් ඒ භගවතුන් වහන්සේ කියන අර්ථයයි එන්නේ. මේ ආකාරයට පද , අකුරු මුලින්ම වෙනස් කර ගත් විට අග සම්පූර්ණයෙන්ම වැරදිලා යනවා. උපමාවක් විදිහට අඩි 20 විතර උස කනුවක් මුලින් අංශක 10 විතර ඇල කලාම එහි මුදුන විශාල අගයකින් ඇල වෙනව වගේ, මුල වැරදුනාම අගට යන්න යන්න වැරදීම විශාල වෙනවා. ඒ වගේම පද එකින් එකට වෙන් කරලත් කියන්න ඕනෙ. එවිට බුදු රජාණන් වහන්සේගේ ගුණ නමය පද හැටියට කියවෙනවා.

වීතරාගී, වීතද්වේශී. වීතමෝහී ගතිහඬ මුල් කරගත් බුදුගුණ දේශනාවේ ශුද්ධ මාගදි භාෂාවෙන් අරහං , සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ.. ආදි ආකාරයට භවිතා කරගෙන යනකොට ගතිහඬ තුලින් අපිව ගෙනියනවා ඒ ඒ ගතිගුණය කරා. එහෙනම් අපේ මනස වීතරාගී, වීතද්වේශී, වීතමෝහී ගුණයට ක්‍රම ක්‍රමයෙන් නැඹුරු වෙනවා. මෙසේ යම් කාලයක් වැඩු විට බුදුගුණ වල භාෂාවෙ අර්ථය හැඟෙන (තමන්ටම හැඟීමක් එනවා මේකයි මේ ගුණය කියන එක) අවස්ථාවක් එනවා. උපමවාවක් කියනව නම් තමන්ගේ හිතවත් කෙනෙක් වෙන්වුන විට අඬන අවස්තාවක් ගන්න, දුක්, ශෝක, කනගාටු හැඟීමක්. හරියටම වචන වලින් විස්තර කරන්න බැරි දෙයක් වගේ. එවිට මේ ගුණ සිහි කරන විටම කායික මානසික පරිවර්තන සිදුවෙනවා. ඒ හැම පරිවර්තනයමක්ම එකිනෙකට ශාන්තයි, ප්‍රණීතයි. එකිනෙකට සමාධි වැඩෙනවා. නව අරහාදී බුදු ගුණ වලට වෙන් වෙන් වශයෙන් සමාධි නමයක් වැඩෙනවා. මෙන්න මේ සමාධියට වැටහෙන්න පටන් ගන්නවා සමාධි ලක්ෂණය. ඔය ටික පද වලින් කියන්න ගියොත් එහෙම අපිට කවදාවත් අර පහල මට්ටමේ ඉදගෙන නොදත් ප්‍රත්‍යයක් පද වලින් ගන්න ගියොත් එහෙම පහත් මට්ටමේ අදහසකින් පදය වැටහෙනව මිසක් නියම බුදු ගුණ හැගීම එන්නෙ නෑ.

අපිට යම් කිසි වෙලාවක යමක් තේරුම් ගන්න බැරිනම්, අනේ මට කොහොම තේරුම් ගන්නද ආදී අවස්ථාවල “අරහං, අරහං, අරහං, අරහං…….” ලෙස හෝ “නමෝ අරහං, නමෝ අරහං, නමෝ අරහං…..” ලෙස අරහං ගුණය වඩන්න පුළුවන්. මෙහෙම කියද්දි යම් තැනක සැඟවෙච්ච හරියක් තියෙනවා නම් සියල්ල මතු වෙලා හරියට computer එකක් දත්තයන් ගෙනත් දෙනව වගේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා, ඒ සැඟවුණ කරුණු තමන්ගේ මනසට ගෝචර වෙන්න පටන් ගන්නවා.

ලෝකයේ ඒ ඒ තැන් වලට ඇළුම් කරන , බැඳීම් කරන දේවල්, අනවින, කොඩිවින, ඇස්වහ, කටවහා, හෝවා, අඬොවැඩියා සහ බන්ධන ආදියෙන් යම් කෙනෙක් හිර කරල බැදලා තියෙනවා නම් “නමෝ සම්මා සම්බුද්ධෝ, නමෝ සම්මා සම්බුද්ධෝ, නමෝ සම්මා සම්බුද්ධෝ…….” කර්මස්ථානයක් විදියට වඩන්න පුළුවන්. හැබැයි ඔය ආකාරයට භාවනාව වඩනකොට ඇග හිර වෙන්න, තද වෙන්න, වේදනාවන් එන්න පටන් ගනියි. ඒකට හේතුව, අමනුස්සයො හිර කරගෙන, බැඳගෙන කුටි හදා ගෙන හිටපු දේවල් ඔක්කොම පුපුරලා යනවා. ඒ බන්ධන බැඳිල තිබෙන්නේ වා, පිත් , සෙම් වලින්. ඒවා සියල්ල ගැල වෙන්න පටන් ගන්නවා. එවිට ඔළුව හිර වෙනවා, ඇඟ හිරවෙනා, බෙල්ල හිරවෙනවා, අත පය හිර වෙනවා දැනෙනවා. ඒ වුනාට වඩන්නේ බුදු ගුණ නිසා කිසිම ආපදාවක් වෙන්නෙ නෑ. අප්‍රමාණ බුදුගුණ වලට එහා ගිය බලයක් මේ විශ්වයේ නැහැ. පීඩනය වැඩි වෙලා, වැඩි වෙලා අන්තිමට දරා ගන්න බැරි වුනාම අර යක්ෂ බන්ධන පරදිනවා. ඊට පස්සෙ දැනෙන්න පටන් ගන්නවා ඒ ඒ තැන් හිර කර ගෙන තිබුනු හැටි, කැඩිල ගිය හැටි. බන්ධන වල බරපතල කමේ හැටියට වඩා ගෙනම යන්න ඕනෙ. අහවල් දවසෙ මේක සම්පූර්ණ වෙනවා කියන්න බෑ. කවදාහරි සියලු බන්ධන පුපුරල යනවා. අනවශ්‍ය විෂ සහිත දෙයක් තිබුනොත් ඕක ඉදිමිලා ඉදිමිලා පුපුරල යනවා. සමහර විට ලේ විශ වෙලා යන්නත් පුළුවන්. හැබැයි කුණු ලේ යනවා මිසක් හොද නහර එකක් වත් පුපුරන්නෙ නෑ. ඒ වගේම අමනුස්ස ගුහාවන් වූ පිළිකා වගේ සෛල ආදියත් මෙසේ වඩා ගෙන යනකොට පුපුරලා යනවා. මේක තේරුම් අරගෙන බය වෙලා අතර මග නවත්තන්නෙ නැතුව දවස ගානෙ දිගටම කරගෙන යන්න ඕනෙ. සමහරු කියනව 108 වාරයක් වඩන්න ඕන ආදි වශයෙන් නමුත් එහෙම ගනනක් නැහැ, වැඩේ ඉවර වෙනකන් කරන්න ඕන. උපමාවක් කියනවනම් හිතන්න බැලුමක් පුපුරනකන් පිඹිනවා කියලා, අපිට කියන්න බැහැ නේ 108 වතාවක් පිම්බුවාම පිපිරෙනවා කියලා, කරන්නෙ පිපිරෙන කන පිඹින එකයි.

“නමෝ” කියන වචනයෙන් කියවෙන්නෙ “යම් කිසි ගුණයකට නම්‍යශීලි වෙනව එහෙම නැතිනම ඒ උතුම් ගුණයට නමස්කාර කරනවා.” ඒකෙන් පිනකුත් සිද්ධ වෙනවා. කුසලයත් වැඩෙනවා. පින වැඩීමෙන් බාහිර ලෞකික සම්පත්තිය වැඩෙනවා. කුසලය වැඩීමෙන් ආර්ය මාර්ගය පූර්ණ වෙනවා. ඊට අමතරව බයක් , තැති ගැනීමක්, ලොමු දැහැ ගැනීමක් තිබුන නම් ඒකත් දුරු වෙලා යනවා.ලෙඩක්, රෝගයක් තිබුනා නම් ඒකත් දුරු වෙලා යනවා.

ඉතුරු ගුණයන් සහා එම ගුණයෙන් වැඩන දේත් පහත තියෙනවා, ඉහත ආකාරයටම වැඩිය යුතුයි.

මූලික වශයෙන් “නමෝ විජ්ජාචරණ සම්පණ්ණෝ” ගුණය වැඩිමෙනුත් යම් කිසි අප තුල අසංවර භාවයක් තියෙනවා නම එය දුරු වෙලා සංවර භාවයත්, “නමෝ සුගතෝ” ගුණය වැඩිමෙන් තමන්ගෙ ලෞකික/ලෝකෝත්තර වශයෙන් තිබුනු මාර්ගයේ බාධාත් දුරු වෙනවා. ඒ වගේම “නමෝ ලෝක විදූ” කියලා භාවනාව වඩන කොට ලෝකය පිළිබද විද්‍යාව පහල වෙනවා සමගම ලෝකය පිළිබදව බැඳුනු අවිද්‍යාවෙනුත් මිදෙන්න උපනිශ්‍රයක් වෙනවා. තවද “නමෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී” ගුණය වඩන විට යක්ෂ, අමනුස්ස, දාමරික බලහත්කාරකම්, බල පුළුවන්කාරකම් මැඩ පැවැත්විලා යහපත් ජයග්‍රහණ ලැබෙන්න හේතු වෙනවා. ” නමෝ සත්ථා දේව මනුස්සානං” කියලා කාලයක් වඩන විට ඇත්ත කතා කරන මානසිකත්වක් සහ වචන පැටළුමක් නැතිව ලෝකයේ ශස්තෘ බුද්ධිය ඇති කිරීමේ හැකියාව සහ එයට නැඹුරු වන මානසික ශක්තියද ලැබෙනවා. “නමෝ බුද්ධෝ” තුලින් භවය තුල බැඳිලා, රැඳිල ඉන්නවානම් බේරෙන්ඩ බැරුව භව පඳුර උදුරන අර්ථයෙන් වැඩීමේ හැකියාවද, ඉන්පසු ලෞකිකත්වයෙන් නිදහස් වෙලා ලෝකෝත්තරත්වයෙ පිහිටන්නට “නමෝ භගවා.” කියන කර්මස්ථාන ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

නව අරහාදි බුදුගුණ කර්මස්තානය නව ආකාරයකින් වඩන කොට නව ආකාරයක සමාධියක් නව ආකාරයකින් දෙපැත්තකට තිබෙන ලෞකික, ලෝකෝත්තර ඵලයන් ලැබෙනවා. අවශ්‍ය නම් පොදුවේ වඩන්නත් පුළුවන් ” ඉතිපි සෝ භගව .. අරහං…..” කියල. නමුත් එල්ල කරල කරන එක වඩා හොඳයි. මේ අතර බුදුන් සිහි කරල, ගුණ සිහි කරල, බුදු රජාණන් වහන්සේ මෙවැනි උත්තමයෙක් මමත් මෙබදු ගුණ වලට ගරු කරල මමත් ඒ වගේ ජීවිතය හැඩ ගස්සවා ගන්නවා කියල හිතල ඒකත් කර ගන්න ඕනෙ. තමන් තුල ඒ හැඟීම වැඩෙන්න වැඩෙන්න මේ භාවනවෙන් ලැබෙන ප්‍රතිඵලත් වැඩියි. මෙසේ එකින් එකට ශුද්ධ කර ගත්විට යථාවබෝධය ලබා ගන්න පහසු වෙනවා. හරියට මලකඩ කාපු යකඩයක්ට මිටියකින් ගහන කොට එන සද්දෙයි, එහි ඇති මලකඩ ටිකෙන් ටික සුද්ද කරලා ගහන කොට එන සද්දෙයි වෙනස වගේ.

උපුටා ගැනීම මෙම වටිනා ධර්ම දේශනාව ඇසුරෙනි.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න