බෞද්ධයකු සංවේගය උපදවිය යුතු ස්ථාන

බෞද්ධයකු වශයෙන් දැක බලාගෙන සංවේගය උපදවිය යුතු තැන් වශයෙන් සඳහන් වන ස්ථාන හතරක් ලෝක සම්මතයයේ තියෙනවා. මේ ස්ථාන හතර අද බොහෝ බෞද්ධයෝ වැඳ පුදා ගන්නවා. හැබැයි ඉතින් ඕක විතරක් කර කර ඉදලා මැරෙන වෙලාවට මොකෙකුට හරි විනාශයක් කරපු එකක් හරි, වටිනා කියන වස්තුවක් ගැන හිතුනොත් ඒකා යන්නෙ දුගතියකට. මොකද, අපි ලුම්බිණිය, බුද්ධගයාව, ඉසිපතනය සහ කුසිණාරාව වැඳ පුදාගෙන සංවේගය වෙලා අපේ විමුක්තියට එක් කර ගත්ත දෙයක් නැති නිසා. මෙන්න මේකයි අපි හිතන්න ඕනේ.

බුදුපියාණන් වහන්සේ පිරිණිවන් පාන මොහොතට ලඟා වන විට එය දැනගත් ආනන්ද හාමුදුරුවෝ අඞන්න පටන් ගත්තා. එවිට උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කලේ මේ හට ගත්ත සියලුම සංස්කාරයෝ අනිච්ඡයි කියල මම කියල තියෙනව නේද.. හට ගත් යමක් ඇත්නම් විපරිණාමයට පත් වෙනවා, වැනසෙනවා කියලා තියෙනවා නේද. එහෙනම් මොකටද මේ අඞන්නේ.

ඉතින් උන්වහන්සේ මෙසේ වැනසෙන විපරිණාමයට පත්වෙන දේවල් ගැන හිත හිතා වැලපෙන්න කියළා නෙමෙයි කිව්වෙ, එහෙනම් මොකද්ද අපි මේකෙන් දකින්න ඕනේ කියලා ඥාණගෝචර ආකාරයට විමසා බලමු.

ලෝකයට සෙත ශාන්තිය සලසා දුන්න මහා උත්තමයෙක් උපන්න ස්ථානය තියෙනවා, නමුත් උපන්න අවස්ථාව ඉක්ම ගිහිල්ලා. ඒ වගේම බුද්ධත්වයට පත්වුණු ස්ථානය තියෙනවා, නමුත් දැන් කෝ ඒ බුදුන්? එහෙනම් ඒ අවස්ථාවත් දැන් ඉක්ම ගිහිල්ලා. මේ ධර්ම දේශනා කරපු තැන. කෝ දැන් ඒ දේශනාව, ඒකත් දැන් නැහැ. ඊට පස්සේ පිරිණිවන්පාපු තැන, ඒකටත් සිද්ධ වෙලා තියෙන්නේ ඔය ටිකමයි. ඔය අවස්ථා හතරම ඉක්ම ගිහිල්ලා. එම ස්ථානයන්ද විපරිණාමයට විනාශයට පත් වෙමින් තියෙනවා. හැබැයි මේ අවස්තාවන් හතර මුල් කරගෙන ලැබුණ ආධාරයක් තවමත් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි ශ්‍රී සද්ධර්මය. එහෙනම් මේ ධර්මයට සිද්ධ වෙන්නෙත් කවදා හරි අර ස්ථාන හතරට සිදු වුනු ආකාරයට විපරිණාමයට පත් වෙලා වැනසිලා යන එක තමයි. හැබැයි එහෙම වෙච්ච කාලයක නම් අපිට වෙන්නේ සංවේගයට පත් වෙලා අඞන්න තමයි. ඊට කලින් අප්‍රමාදයෙන් යුක්තව තමන් මේ ධර්මය අවබෝධ කර ගන්න ඕනෙ කියල ඊට අදාල කටයුතු ටික කරගන්න පුළුවන්නම්, ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් නම් ඒකයි කරගන්න ඕන. මේවා එකක්වත් වෙනස් නොවී පිහිටන ඒවා නෙමයි. උතුමෙක් පහල වෙලා ශ්‍රී සද්ධර්මය ලොවට දේශනා කිරීමට හේතු වෙච්ච අවස්ථා හතරක් මේ ආකාරයට ගෙවිලා ගිහින්. ඕකයි අපි දකින්න ඕනේ.

තවත් උදාහරණයක් ගන්න පුළුවන්, සැරියුත් මහරහතන් වහන්සේ පිරිණිවන් පාන මොහොතේදි ආනන්ද හාමුදුරුවෝ හඞා වැලෙපෙන විට බුදුපියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, “ඇයි ආනන්ද ඔබ අඞන්නේ සාරිපුත්ත ඔබේ සීලස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවාද , නැත්නම් සමාධි ස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවද..එහෙමත් නැත්නම් ඔබගේ ප්‍රඥා ස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවද.. නැත්නම් ඔබගේ විමුක්ති ස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවද.” ආනන්ද හාමුදුරුවෝ අනේ නෑ ස්වාමීනි..කිව්වාම.. එහෙනම් ඇයි ඔබ අඞන්නේ..උන් වහන්සේ, උන් වහන්සේගේ විමුක්තිය සලසගෙන පිරිනිවන් පෑවා, ඔබ අඞා වැලපිලා ඇති ඵලය මොකක්ද කියළා.

ඉතින් අපි අද ඔය කරන දේ බුදුපියාණන් වහන්සේ අනුමත කල දෙයක් නෙමෙයි. ඉතින් යම් සංවේගයක් පවත්වනවා නම් ඒක පවත්වන්න ඕනෙ මේ විදිහට හිතලයි. හරයක් නැති හිස් ලෝකයක, තව තවත් අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ගිලි ගිලී කරගෙන යන වැඩ පිලිවෙල දැකලයි. මොන අපරාධයක්ද මම මේ කර ගන්නේ මෙච්ච්ර උත්තම අවස්තාවක් ලැබිලත් පංචකාමයන් පස්සේ දුව දුවා ඉන්නේ. අප්‍රමාදව කටයුතු කලොත් විතරයි මට විමුක්තිය සලසාගත හැක්කේ කියළා හිතට ගන්න ඕන. මේ ලෝකේ අනිච්ඡ දුක්ඛ අනත්ථ වශයෙන් වටහා ගන්න ඕන. එතකොටයි අපි ලුම්බිණිය දැක්කා, බුද්ධගයාව දැක්කා, ඉසිපතනය දැක්කා සහා කුසිණාරව දැක්කා වෙන්නෙ.

මූලාශ්‍රය: මෙම ධර්මදේශණාව ඇසුරෙනි

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

දැකිය යුතු සතර පෙරනිමිති

දැකිය යුතු සතර පෙර නිමිතිසතර පෙරනිමිති කියූ සැනින් අපට මතකයට නැගෙන්නේ මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක් සහ පැවදි රුවක් යන කරුණු හතරයි. කුඩා කල පටන් අප සියලු දෙනාම මේ සතර පෙර නිමිති ගැන නොයෙක් විට අසා තිබෙනවා මෙන්ම මෙකල වන විට නොයෙක් නොයෙක් පුද්ගලයන් විසින් මේ සතර පෙර නිමිති ගැන ඉදිරිපත් කරන තර්ක වාදද නැතුවා නොවේ.

සිදුහත් කුමරු අවධියේදී අප මහා බෝසතණාන් වහන්සේට මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක් දකින්නට ඉඩක් නොලැබුනේ කෙසේද යන්න බොහෝ දෙනාගේ විමසිලිමත් මනසට නැගෙන ගැටලුවකි. උදාහරණයක් ලෙස මහාමායා දේවියගේ නැත්නම් සිදුහත් කුමරුගේ මවගේ මරණය පිලිබදව ඔහු නොදැන සිටින්නට ඇත්ද? දිනෙන් දින වයස්ගත වන තම පියාවන සුද්ධෝදන රජු කුමරුන්‍ නොදුටුවේද? නැතහොත් සිදුහත් කුමරුට හෙම්බිරිස්සාවක්වත් සෑදි නැද්ද? ආදී නොයෙක් ගැටලු විමසිලිමත් මනසකට ගෝචර වීම සාමාන්‍ය දෙයකි. ඒ ඔස්සේ සිතන විට පැහැදිලි ඇත්තක් සොයාගන්නට නොහැකිවූවොත් මුලාවූ අදහස් නිගමන වලට පෙළඹීමට හැකිවීමද සාමාන්‍යය දෙයකි. කෙසේ වෙතත් විවෘතව සිතන්නට මනස මෙහෙයවන ඇත්තන් හට මේ සත්‍ය අවබෝධ කරවීම මාගේ උත්සාහයයි.

අපි මෙතනදි හොදින් තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. ඒ යමක් ඒ ඒ ආකාරයෙන්ම යථාර්තවත්ව වටහා ගැනීමත්, උඩින් බලලා ලබා ගන්න අවබෝයත් යන කාරණයයි.

මහල්ලෙක් දැක්කා කියලා කියන්නේ මොකක්ද?

“මේ මහල්ලාත් පෙර දිනයක මම වගේම තරුණ, ශක්තිමත් කයක් ඇතිව සිටි අයෙක් නොවේද? ඉතින් මේ මහල්ලා වගේම මටත් යම් දිනයක මේ වැහැරුණු සිරුරක් ඇතිව මහලු තත්වයට පත්වීමට ‍සිදුවෙනවා නොවේද? එබදු ස්වභාවයක් ඇති මම මේ රූප මදයෙන් මත්වෙලා… රුව ලස්සන කරන්නට, කල් පවත්වන්නට කටයුතු කරමින් එහිම ඇලී ගැලී කටයුතු කරනවා කියන්නේ මොන තරම් මෝඩකමක්ද? මේ මහල්ලාත් මම වගේම තරුණ අවධියේ එසේ මේ රුව පවත්වන්නට කටයුතු කරන්න ඇති. ඒත් ඔහුටත් / ඇයටත් එය කරගන්නට බැරිවෙලා නේද? මොනතරම් හරයක් නැති කටයුතු වලද මම නිරත වෙලා ඉන්නේ…” ලෙසින් ඔබට මහල්ලෙක් දුටු විට සිතුනා නම් අන්න එතකොට ඔබට කියන්න පුළුවන් ඔබ සැබෑවටම මහල්ලෙක් දැක්කා කියලා.

මරණයක් දැක්කා කියලා කියන්නේ මොකක්ද?

“මරණයට පත් පුද්ගලයා වාගේම මමත් කවදාහරි මරණයට පත්වෙනවා. මමත් තවමත් මරණය ඉක්මවලා නැහැ. එහෙනම් එහෙම මරණයට පත්වෙන මම මේ කාම සම්පත්තියක් සුවයි… සුවයි… කියමින් එහිම ඇලී ගැලී සිදුකරන මේ විකාර වැඩපිලිවෙල මොකක්ද? හරයක් නැති වැඩපිලිවෙලක නේද මම මේ නිරත වෙලා ඉන්නේ… මේ පුද්ගලයා වගේම අනාගතයේ මරණයට පත්වෙන මම අද මේ විදියට උඩ පැන.. පැන.. සන්තෝෂ වෙමින් මුලා සහගතව කටයුතු කරන්නේ මොන හරයක් ඇතිවද. ඇත්තටම මේ අල්ලගත්ත එක දෙයක් වත් මේ පුද්ගලයා දැන් ගෙනියනවද?” කියලා මරණයක් දුටු විට ඔබගෙන් කීයෙන් කීදෙනෙකුට සිතෙන්නට ඇතිද? මරණයක් දුටු විට ඔබට එසේ සිතුණා නම් අන්න එතකොට කියන්න පුළුවන් ඔබ සැබෑවටම මරණයක් දැක්කා කියලා.

මේ ආකාරයෙන් මහල්ලා, ලෙඩා, මලකුණ කියන දේ දැකිය යුත්තේ තමන්ගේ ඥාණයෙන්. එතකම් ඉපදීමේ සිට අපේ මරණය තෙක්ම අප විසින් මහල්ලන්, ලෙඩුන්, මරණයන් දහස් ‍ගණනින් දකිනවා, ඒ ගැන අසනවා. ඒත් අප ඇත්තටම සතර පෙර නිමිති දැක්කා වෙන්නේ අපේම ඥාණයෙන් මේ දේවල ඇත්ත ස්වභාවය දැක්ක දවසටයි.

සිදුහත් කුමරුත් ඕන තරම් ඔය මහල්ලන්, ලෙඩුන්, මරණ දකින්නට ඇති. ඒත් උන්වහන්සේගේ ඥානය මුහුකුරා ගිය මොහොතක් තිබුණා. එදින තමයි උයන් කෙළියට යන සිදුහත් කුමරු මහල්ලා, ලෙඩා, මරණය, ඔන්න ඔය විදියට ඥාන ගෝචරව දැක්කේ. එහෙත් ඡන්න ඇමති දැක්කේ අප අතර සිටින බහුතරයක් පිරිස ඇහෙන් දකින මහල්ලා, ලෙඩා, මරණය දකින ආකාරය මිස ඥාන ගෝචරව නොවේ. ඉතින් නුවණින් මේ දැක්ක පෙරනිමිති තුන ගැන මෙනහි කරගෙන යන කොට තමයි දැක්කේ, මේවායෙන් මිදීමට උත්සහා කරන කෙනෙක්, පැවිද්දෙක්. තරුණයෙක් වශයෙන් මේ කරන කටයුතු වල හරයක් නැති බවත් ඒ හරයක් නැති මුලාසහගත වැඩපිලිවෙලින් හැකි ඉක්මනින් මිදිය යුතු බවත් අවබෝධ වූ නිසා තමයි උන්වහන්සේ ලෝකයෙන් මිදෙන්නටත් අප සියලු දෙනාම එයින් මුදවාගන්නටත් පියවරක් ඉදිරියට තැබුවේ.

ඉතින් මේ ලෝකයේ යථාර්තය, යථාර්තයෙන් දැක්කේ නැති එක තමයි දැක්කේ නැහැ කියලා කියන්නේ, පළමු වතාවට දැක්කා කිව්වේ.

අප මහා බෝසතාණන් වහන්සේ දුටුව ආකාරයට යථාර්තවාදිව සතර පෙරනිමිති දැක අපිත් ආර්‍ය මාර්ගයට යොමුවීමට මේ ධර්ම දේශණාව අසමු.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

ග්‍රහ අපල නැති කර ගන්නා ආකාරය

ග්‍රහ අපලයක් ඇති වෙන ආකාරය ගැන කලින් ලිපියෙහි කල විස්තරයට අනුව ඒවා පලිසන් දීමට නම් අවශ්‍ය පරිසරයක් සකස් වී තිබිය යුතු බවත් සඳහන් කලා. හේතුව සහ ඵලය දන්නවා, “හේතුව නිරෝධ කිරීමෙන් ඵලය නිරෝධ වේ” යන ආකාරයට බලමු කොහොමද අපල නැතිකර ගන්නේ කියලා. මෙහිදි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි උපක්‍රමයක් කරලා බේරෙන එක (හරියට කෙනෙක්ගෙන් ණයක් අරගෙන ඒක ආපහු දෙන්නෙ නැතුව, නඩු කියලා බේරෙනවා වගෙ). හැබැයි ඒක තාවකාලිකයි (අර ණයහිමියා කොහි මොහොතේ හෝ බලං ඉන්නවා දීපු ණය ආපහු ගන්න, හොඳින් හෝ නරකින්). මේක තමයි අද ගොඩක් මිනිස්සු කරන්නේ. බෝධි පූජා තියෙලා, කොඩි වැල්, යන්ත්‍ර වගේ දේවල් එල්ලගෙන. මේකේ ප්‍රතිඵල නැහැ කියලා නෙමෙයි කියන්නේ. හැබැයි මේ සියල්ල ග්‍රහ අපල පලිසන් දීම වැලැක්වීම ( ග්‍රහ අපල පලිසන් දෙන පරිසරය වෙනස් කිරිම) සදහා කරන තාවකාලික උපක්‍රම පමණයි. අවස්ථාවක් නැවත උදා වු විට ඒවා නැවත ඇදී එනවා (අර කියපු ණය හිමියා ආපහු එනවා ණය ගත්ත කෙනා දුර්වල වෙච්ච වෙලාවක). අපි මොනවා කලත් ධර්මතාවය වෙනස් කරන්න බැහැ.

එහෙනම් මොකක්ද මේ ධර්මතාවය. ධර්මතාවය තමයි කරපු අසාධාරණයට වන්දි ගෙවන එක. වන්දි ගෙවන්නේ නැතිව මේවායින් මිදෙන්න කවදාවත් බැහැ. මේකට අපි උදාහරණ කිහිපයක් ගෙන බලමු. හරියට ඇවිද ගන්න බැරි හෝ කකුල් අමාරුවක් තියෙන හෝ කකුල් කැඩුනු පුද්ගලයෙක් ගැන අපි හිතමු. අනන්ත සසරේ ඒදඞු, මං මාවත් වහලා දාලා. නැත්නම් උගුල් අටවලා කරපු අසාධාරණයේ විපාකය තමයි ඕක. ඉතින් ඕක විපාක දෙන්න කලින් අපිට කරන්න පුළුවන් එහෙම අපලයක් තියෙනවා නම් කලින් දැනගෙන (හඳහන් බැලීමෙන් කරන්නේ මෙන්න මේ කලින් දැනගැනීමයි), මං මාවත් හදලා දීලා, ඒ දේවල් වලින් විපාක විදින මිනිසුන්ට උදව් උපකාර කරලා, ඒ ලැබෙන පින අපි විසින් පෙර කලකදී අසාධාරණයක් කරපු පුද්ගලයන් හට අනුමෝදන් කරවන්න පුළුවන්. මෙතනදී අපි ඒ පුද්ගලයන්ව දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේම දැනට ඉන්න කොහෙද, ඒවා දැනගන්නත් අවශ්‍ය නැහැ.

“අනන්ත සංසාරයේ [මාගෙන්] යම් කිසි සත්වයකුට හෝ සත්ව කොට්ඨාශයකට අවැඩක්, අසාධාරණයක් සිදු වී තිබෙනවා නම්, මා මේ කරගත්ත පින හේතු කොට ගෙන ඔවුන් කෙබඳු භවයක, කෙබඳු උපතක සිටියත් මේ පින් විහිදි පැතිරි පිහිටාවා.”

මෙහිදි [මාගෙන්] යන කොටසට අපිට අපල තියෙන අපගේ හිතවතෙකුගේ නම යොදන්නත් පුලුවන්. දැන් යම් කිසි කෙනෙකුට හිතෙන්න පුලුවන් අපේ අතින් අවැඩ අසාධාරණය වෙච්ච පුද්ගලයෝ මිනිස් අත්භවයක සිටියොත් කොහොමද අපි දෙන පින් අනුමෝදන් වෙන්නේ කියලා. දැන් හිතන්න අපි දහවල් වේලාවක (තදින් අව්ව තියෙන, දුවිල්ල තියෙන) පයින් ගමනක් යන විට අපි අඳුනන කෙනෙකු හමුවී හොඳට A/C තියෙන වාහනය අපිව ගෙනියනවා කියලා. ඒ වගේ අවස්ථාවක් වෙන්න පුලුවන් අර කරපු පින අනුමෝදන් වෙන. තවත් උදාහරණයක් කිව්වොත්, අපට සමහර වෙලාවලට අපිට මහත් චිත්‍තප්‍රීතිය දැනන වෙලාවල් එනවා, ඒ වෙලාවට හිතෙනවා කරන ඕනම හොඳ වැඩක් හරියනවා කියලා.

මෙන්න මේ දේවල් වලින් අපි කරපු කර්මයේ ප්‍රමාණය අනුව වන්දිය ගෙවී අවසන් වෙනවා (හරියටම කර්මයක විපාක ගෙවන කාලවකවානු කියන්න පුළුවන් බුදුපියාණන්වහන්සේට පමණයි). මේක තමයි අනෙක් ක්‍රමය, අපල වලට ප්‍රතිකර්මය. තවද යහපත් වැඩ පිළිවෙලක් ලෝකයාට කරලා සිද්ධ කරලා දේවත්වය ලබා ඇති ග්‍රහ දේවතාවන්ටත් මා අද කර ගත්ත පින අනුමෝදන් වෙත්වා කියා අනුමෝදන් කරන්න පුලුවන් (මේක කපටි කමට හොරට කරන අනුමෝදනාවක් නොවිය යුතුයි). එවිට ඒ දේවතාවනුත් සතුටු වි අපට යම් අපලක් පලිසන් දීමට තියෙනවා නම් එය පලිසන් දීමට අවශ්‍ය කරන පරිසරය වෙනස් කිරිමට මැදිහත් වෙනවා. අපි විසින් දස අකුසල් කරලා හට ගත්ත අවැඩ අසාධාරණ තමයි මේ සියලුම ග්‍රහ අපල කියන්නේ. ඉතින් අපි මේ හැම එකකම හේතු ඵල දකින්න ඕනේ. දස අකුසලයෙන් වෙන් වෙලා සියළුම ලෝක සත්වයාට මෙත් සිතකින් කාය කර්ම, වචි කර්ම, මනෝ කර්ම අවංකවම කරන්න ඕනේ. හැබැයි තමන්ගේ වාසියට නෙමෙයි. මේ හේතුවෙන් ලෝක සත්වයාට වෙන අවැඩ අවංකව අවබෝධ කරගෙන කරන කෙනාට යම් දවසක අපල ගෙවිලා අවසන් වෙනවා (මේක තමයි මම අර කලින් පෝස්ට් එකේ සඳහන් කලේ “පංච දුෂ්චරිතයෙන් වෙන්වූවන්ට ග්‍රහයෝ අපල නොකෙරෙති” කියලා). ඉතින් අපි අවංකවම අයතන සංවරයෙහි පිහිටන්න ඕනේ, නැවත එම අපලය ඇති වෙන්න තියෙන හේතු නැති කරන්න.

ඉතින් මේක තමයි අපි දකින්න ඕන ක්‍රමය. අපලයත්, අපලයට හේතුවත්, අපලය නිරෝධ කරගන්න ක්‍රමයත්, නිරෝධ කරගන්න මාර්ගයත්. ඕක තමයි ඥාණවන්ත ක්‍රමය. එහෙනම් ඒ නරක ප්‍රතිඵලය නොලැබෙන්න නම් හේතුව දැකලා ඒ හේතුව නැති කර ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට කටයුතු කරන්න පටන් ගත්විට කරදර බාධා අඩු ජීවිත ගත කරන්න හේතු වාසනාව උදා වෙනවා.

මූලාශ්‍රය: මෙම ධර්මදේශණාව ඇසුරෙනි

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

මොකක්ද මේ ග්‍රහ අපල වලට හේතුව?

අපේ හඳහන බලපු කෙනා කියනවා ඔයාට අපලයක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ බෝහෝ විට බෝධි ජූජා හතක් තියන්න, විසි එකක් තියන්න, කොඩි වැල් එල්ලන්න, දේව පූජා තියන්න, යන්ත්‍ර දාන්න, සතුන් නිදහස් කරන්න ආදි නොයෙකුක් දේවල් පස්සේ දුවනවා හේතු ඵලය දන්නේ නැති නිසා.

නිකමටවත් අපි කාටත් හිතුනද? අපල කියන්නේ මොනවද කියලා. ඒක නිසා මුලින්ම දැන ගන්න ඕනේ මොනවද මේ අපල කියන්නෙ කියලා. අපි විසින් ලෝකයාට (පෙර හෝ මේ අත්බැවේදි) කරපු අපරාදයක්, විනාශයක්, අවැඩක්, අසාධාරනයක් වගේ එකක ප්‍රතිඵලයක් තමයි අපලයක් කියන්නේ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ තාරකා මොනවා කරන්නද, උඹලා කර ගත්ත දේවල් උඹලට ඵල දෙනවා කියලා. ඒවායේ බලපෑමක් නැහැ කියන එක නෙමෙයි මෙතන කියන්නේ. අපි දැන ගන්න ඕනෙ කර්ම ඵල වලට අනුව මේ වාගේ දුක් කරදර එන්න, අපි හේතුවක් හදලා තියෙනවා කියන එක. ඒක මුල් කරගෙන තමයි ඒවා ඇදිලා එන්නෙ. ඕවා ඵල දෙන අවස්ථාවන් කලින් දැන ගන්න පුලුවන් එක් ලෞකික ශාස්ත්‍රයක් තමයි ජෝතිෂ්‍යය කියන්නේ.

දැන් ඔය හැම එකක්ම ඵල දෙන්න ඒවාට සුදුසු පරිසරයක් හැදිලා තියෙන්නත් ඕනේ (හරියට කාර් එකක් ගමන් කරන්න රෝද හතරම ඕන වගෙ). නැත්නම් අපි පරිසරයක් සකස් කරගෙන ඉන්න ඕනේ. උපමාවක් කියනවා නම් වී ඇටයක් අටුවේ තිබ්බට පැල වෙන්නෙ නැහැ. ඒක සුදුසු (මඩ, ජලය, පොහොර, උෂ්ණත්වය) පරිසරයක පැලකලාම පැලවෙනවා. හැබැයි ආනන්තරීය අකුසල් වලට මේක ගැලපෙන්නේ නැහැ. ඒවා බාහිර පරිසරය හදාගෙනම පලිසන් දෙනවා.

එතකොට සෙනසුරු අපල කියන්නෙ ? කවුද සෙනසුරු කියන්නේ, දෙවි කෙනෙක්ද වගේ ප්‍රශ්ණත් එන්න පුළුවන්, අපි බලමු මේ දේවතාවන්ගේ තියෙන සම්බනධතාවය මොකක්ද කියලා. දැන් හිතන්න එක්තරා පිරිසක් ඉන්නවා, ලෝකයට කරදර කරන අය ඉන්නවා නම් ඒ පුද්ගලයින් එක්ක තර්ක කරලා හැපිලා, ගැටිලා මැඩ පවත්වන්න කටයුතු කරන. මෙන්න මේ ගති ලක්ෂණය යම් කෙනෙක් ලග තිබුනා නම් අන්න ඒ පුද්ගලයෝ බොහෝ අයගේ යහපත වෙනුවෙන් අයුක්තියට අසාධාරණයට පහර ගහලා (හැබැයි ලෞකිකයි) ඒ ලැබුනු පිනෙන් ගිහිල්ලා උපදිනවා ලෝක පාලක දෙවි දේවතාවන් හැටියට.

සසර ගමනේදී අපි අනුන්ට හෙන ගෙඩි දුන්නානම්, දුක් ගිනි දුන්නානම් ඒ පුද්ගලයාට දුක් ගිනි දුන්න එකේ විපාකයක් වශයෙන් ඇදිලා එනවා අනුන්ගෙන් ආධාරයක්, උපකාරයක් නොලැබෙන, දුක් කරදර ඇතිවෙන පරිසර මානසිකත්වයක් ගොඩ නැගෙන්න හේතු වෙන පරිසරයක්. ඒ අවස්ථා වල ඒ සදහා කටයුතු කරන්න ඉන්න ලෝක පාලක දේවතාවන්ට උදව් කරන්න හිතෙන්නේ නැහැ. ඒක හරියට අපිට හැම හිඟන මනුස්සයෙකුටම උපකාර කරන්න හිතෙන්නේ නැහැ වගේ දෙයක්.

මේක පැහැදිලි කර ගන්න අපි බලමු සෙනසුරු ලබපු වෙලාවට ගොඩක් අයට කරදර එන්නෙ කොහොමද කියලා. අපි ලෝකයාට කරපු අවැඩ, අසාධාරන පලිසන් දෙන වෙලාවට කියනවා සෙනසුරු අපල වෙනවා කියලා. අනුන්ට ඊරිසියා කරන, වෛර කරන හිංගි,හිංසා කරන, නීච කරන වැඩ පිලිවෙලක් කරගෙන යනවා නම් අපි ලඟ පරිසරයක් හැදිලා එනවා අපි පෙර කරපු එකේ විපකය ඇදිලා එන්න (හරියට ඉහත කිව්ව වී ඇටය පැල කරන්න අවශ්‍ය පරිසරය වගේ). ඕකට කියනවා අනන්තර සමනන්තර ප්‍රත්‍ය ක්‍රමය කියලා. මෙන්න මේ වෙලාව වෙන කොට තමයි අර ග්‍රහ දේවතාවන්ටත් අහු වෙන්නේ ඔය කොටස. ඉතින් අපි දැනුත් ඊරිසියා, වෛර, ක්‍රෝධ කරන ගමන් ග්‍රහ දේවතාවන්ටත් පූජා වට්ටියක් දීලා සැනසිල්ලක් බලපොරොත්තු වෙනවා. අපි දකින්න ඕනේ ග්‍රහ දේවතාවන් සතුටු වෙන්නේ කොහොමද කියලා. ග්‍රහ දේවතාවන් පෙර මනුෂ්‍යයන් වෙලා ඉන්න කලේ සතුටු වුනේ අනුන්ට අයහපතක් නොකරනවා නම්. එහෙනම් අදත් ඒ පුද්ගයන්ගෙ තියෙන ගති ලක්ෂනය වෙන්න ඕනෙ ඒක නේද.

ඒ වගේම ජෝතිෂ්‍යයේ මෙහෙම කියලා තියෙනව “පංච දුෂ්චරිතයෙන් වැලකෙන්නන්ට ග්‍රහයෝ අපල නොකෙරෙති”.

ඉතින් මේ ග්‍රහ අපල නැති කර ගන්නා ආකාරය ඊලඟ පෝස්ට් එකෙන් විස්තර කරන්නම්.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

මළ ගෙවල්වල එල්ලෙන “අනිච්ඡාවත සංඛාරා” බැනර් එක

අපි මළගෙයකට ගියාම, ගොඩක් වෙලාවට දකින එකක් තමයි, “අනිච්ඡාවත සංඛාරා” ලොකු කළු අකුරෙන් ලියලා බැනර් එකක් එල්ලලා තියෙනවා. ඉතින් නිකමටවත් අපිට හිතුනද මොකක්ද මේ කියලා තියෙන්නේ? මේකෙ සැඟවුණු දහම් අරුතක් තියෙනවාද කියළා. ඇහුවාම කියන්නේ “සියළුම සංස්කාරයෝ අනිත්‍යයි” කියළානේ. ඕකෙන් මොනවද අපි දැකපු සත්‍ය. මෙයින් කියවෙන ධර්මතාවය ගැන අවබෝධ වී ඇත්තේ කීයෙන් කීදෙනාටද. මෙම ගාථාව අරිහතුන් වහන්සේලා නිතර භාවිතා කරපු, අවබෝධ කරගත්ත ධර්මතාවයේ ගාථාවක්. මහරහතන් වහන්සේලා තමන්ගේ යථාවබෝධය ලැබුනායින් පසු උන් වහන්සේලා මේ ලෝකේ දැක්ක හැටි විස්තර කරන ගාථාවක්.

සාරයි කියන දෘෂ්ඨියේ ඉඳගෙන, හිතනවා නම්, කියනවා නම්, කරනවා නම්, ඔය වැඩ පිළිවෙල කැමති සේ නැති වැඩ පිළිවෙලක්. කැමති සේ පවත්වාගෙන යන්න උත්සහ කරන, කැමතිසේ පවත්වන්න බැරි වැඩ පිළිවලක්. සංඛාර අනිච්ඡයි කිව්වේ ඕකයි. එදා කෙනෙක් මිය ගිය පසු ඔහුගේ හෝ ඇයගේ මළ ගෙදර වැඩිය ආර්‍යය භික්‍ෂූන්වහන්සේ, සංඛාරයන්ගේ අනිච්ඡතාවය පෙන්වන්න හොඳම අවස්ථාව ලෙස ගෙන ඕක විස්තර කලා.

මෙය උපමා වශයෙන් බලමු. හොඳම උදාහරණය ලගම තියෙනවා. මෙච්චර කල් හිතන් හිටියේ කොහොමද ලෝකේ අල්ලන්න නේද දැඟලුවේ ඉන්නකල්. ලොකුකම් කරගෙන, ගහබැන ගෙන, මරාගෙන ,අයිතිවාසිකම් කියාගෙන කොහොමද හිටියේ. මොකද අද වුනේ. ලස්සන කරන්න, හැඩ වැඩ කරන්න, සුන්දර කරන්න, මේ ශරිරය පෝෂණය කරන්න දඟලලා අද මොකද වෙලා තියෙන්නේ. ඔය කරපු වැඩ පිලිවෙලේ හරය දැන් පේනවා නේද. අපේ කැමැත්ත, හොද හැටියට පවත්ව ගන්න. නමුත් උනේ මොකක්ද ඔක්කොම නැතිවෙලා ගියා. මෙන්න මේ ශරිරය දිහා බලලා ඕක තේරුම් ගන්න කියලා එදා හිටපු පිරිසට ධර්මයක් දේශනා කලා. ඔය හරියටම දැකලා අවබෝධ කරගෙන කියූ ගාථාව තමයි අද සම්ප්‍රදායක් විදියට මළ ගෙදරට ඇවිල්ලා භික්ෂූන් වහන්සේලා දැන් කියන්නේ.

ඕක බලාගෙන හිතාගන්න ඔය ගොල්ලොත් ඉපදුනා නම් ඔය වගේම වැනසිලා යනවා. හදාගෙන, රැකගෙන, පෝෂණය කරගෙන ඉන්න හැදුවත් හම්බවෙන්නේ නැහැ. ඔය අසහනය නවත්වා ගත්තේ නැත්නම් ගමන ඉවර නැහැ. නැවතක් ඔය වගේ දෙයකට උරුමකම් කියනවා. ඕක තමයි අපි මෙච්චර කල් ආපු ගමන. ඔය ගමනෙ හරයක් හම්බවුනාද ? එහෙනම් මොකද්ද හරය. ඔය බලාපොරොත්තු සදහටම නැතිවෙලා ගියා නම් එදාට අසහනයෙන් නිදහස් වෙනවා, පැවැත්මෙනුත් නිදහස් වෙනවා. ඔය මළ මිනිය බලලා ඕක තේරුම් ගන්න කියලා විග්‍රහ කරලා දුන්නා.

(ඉහත කරුනු සම්පාදනය කලේ මේ ධර්මදේශණාව ඇසුරෙන්)

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

බෝධි පූජාවෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ කොහොමද

ජය ශ්‍රී මහ බෝධියඅපි මුලින්ම දකින්න ඕනේ ලෝකයේ යම් පුද්ගලයෙක් පිනක් හෝ පවක් කලොත් ඒකේ විපාකය බුක්ති විදින්න වෙන වෙලාවට ඒක ලැබෙන්නේ කොහොමද කියලා. අපි කරපු පින් හෝ පව් වල ප්‍රතිඵලයන් ලැබෙන්නේ මේ ඇස, කන, දිව, නාසය, ශරිරය, මනස කියන ඉන්ද්‍රිය හයට බාහිර ලෝකයෙන් එන රූප, ශබ්ද, ගන්ද, රස, ස්පර්ෂ, ධර්ම කියන අරමුනු තුලිනුයි. ඒ තුලින් ගොඩ නැගෙන මානසිකත්වයක් තුලට සැප හෝ දුක හෝ මධ්‍යස්ථ භාවය හෝ තීක්ෂණ නුවන හෝ යමක් තේරුම් ගැනිමට උපකාරිවන ප්‍රඥාව ආදි මේ සියල්ලම ලැබෙන්නට හේතුවෙනවා. මෙන්න මේකට අවශය සියලුම පින් හෝ පව් ගුණාංගයන් බලවත් වෙනතුරු ඒක සිද්ධකරපු කෙනාට නිරායාසයෙන් ඒවා ඇදලා එනවා. ඒක ඵල දෙන්න අවශ්‍ය සියලු පරිසරය සකස් වු විට එය පලිසන් දෙනවා. ඒකට හේතුව කර්ම ශක්තියේ මෙහෙය විමෙන් අවශ්‍ය කාරනය හරියට සකස් කරලා තියෙන නිසා.

එතකොට මේ ලෝක සත්වයින්ගේ හිත සුව පිනිස අසංඛ කල්ප ලක්ෂ ගනන් පෙරුම් පුරා ගෙන බුද්ධත්වය සදහා එන බෝසතුන් වහන්සේලාගෙන් මතුවෙන අප්‍රමාන පුන්‍ය ශක්තිය උපරිම වන අවස්තාව තමයි ලොව්තුරා බුද්ධත්වය කියන්නේ. එතකොට ඒ අප්‍රමාන පින් ඵලය ලැබිමට අවශ්‍ය සියල්ල ලෝකයේ සහජාතව හට ගන්නවා. ඒ සියල්ලම අර කර්ම ශක්තියේ ඵලයෙනුයි සිද්ද වෙන්නෙ. ඒකට හේතුව ඒ පාරමි ශක්තිය සෑහෙන බලවත් එකක් විමයි. ලොව්තුරා බුද්ධත්වයට අවශය කරන කාරනා හතක් (සප්ත සහජාත වස්තු) උන් වහන්සේ ලෝකයේ පහල වන විටම හට ගන්නවා. ඉන් එකක් තමයි ජය ශ්‍රී මහ බෝධිය. ලොව්තුරා බුද්ධත්වය සදහා අවශ්‍ය වන්නා වු ශක්ති විශේෂ සියල්ල පිට කරන්න පුලුවන් වු රුක්ෂයක් වෙනවා මේ පරමිතා ශක්තියෙන් හට ගන්නා වු ජය ශ්‍රී මහා බෝධිය. ලෝකයේ වෙන කිසිම රුක්ෂයක් හා සමාන කරන්න බැරි ශක්තියක් මෙහි සහජාතව හට ගන්නවා. ලොව්තුරා බුද්ධත්වයට පත්වන්න යන මොහොතේදි අවශ්‍ය මහා ප්‍රඥාව වඩන්න අවශ්‍ය වෙන මානසිකත්වය පවත්වාගෙන යන්න, අවශ්‍ය සියලුම ශක්ති විශේෂ කිරන වශයෙන් ලබා දෙන්න පුලුවන් රුක්ෂයක් වන්නෙ ජය ශ්‍රී මහ බෝධියයි. ජය ශ්‍රී මහ බෝධිය ලග නැතිව, මේ ලෝකයේ වෙන කිසිම තැනක හෝ වෙන කිසිම රුක්ෂයක් ලග හෝ ලොව්තුරා බුද්ධත්වයට පත් වෙන්නත් බැහැ.

එහෙනම් ඒ ජය ශ්‍රී මහ බොධීන් වහන්සේ යම් තාක් කල් පවතිනවද, මාර බල පරාජ කිරීමේ මහා පාරමී බලමහිමයක් පුණය ශක්තිය වශයෙන් ඒ තාක් කල් ලැබෙනවා. මාර පාක්ෂික බලවේගයකට ඒ බලවේගය ඉදිරියේ කවදාවත් නැගී සිටින්න බැහැ. එහෙනම් ජය ශ්‍රී මහා බොධීන් වනසේගේ ශක්තිය බුදුරජාණන් වන්සේට පමණක් නොවෙයි, උන්වහන්සේ මේ අප්‍රමාණ පාරමිතා දම් පිරුවේ ලෝක අනුකම්පාවෙන්, ඉතින් ඒ හේතුවෙන් මේ පාරමී ශක්තිය අප්‍රමාණ ලෝක සත්වයින්ටත් මේ ශාසනයේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව් පිරිසටත් ආර්ය මාර්ග වඩන විට ඇති වන නානවිධ බාධක මෙන්ම ඇතිවෙන්නා වූ මාරපාක්‍ෂික බාධක දුරු කරන ආශිර්වාද ශක්තියක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලැබෙනවා. කොච්චර ඈතක හිටියත් ඒ ශක්තිය විහිදිලා යනවා. මෙන්න මේ සම්බන්ධතාවය නිසා ජය ශ්‍රී මහා බොධීන් වනසේගෙන් ලෝකයාට ලැබෙන අසීමිත වටිනාකම සීමා කරන්න බෑ. ජය ශ්‍රී මහා බොධීන් වහන්සේගෙ ඵල රුව බෝධිය හෝ අංකුර බෝධිය යන සියල්ලටත් යම් සම්බන්ධතාවයක් තියෙනවා.

මෙන්න මේ කාරණාව තේරුම් ගන්න බැරි භෞතිකවාදි මෝඩ පුද්ගලයෝ ගහක් අල්ලගෙන වදිනවා කියන්නත් පුලුවන්. නමුත් අපිට නියම ශාන්තියක් ලබා ගන්න නිකන් ගස් වටේ ගිහින් හරියන්නෙත් නැහැ. අපගේත් ඒ ගුනයන් යම් ප්‍රමානයක් හෝ තියෙන්නට ඕනේ.

අපි දැන් බලමු මේ බෝධි පුජාවෙන් සෙතක් සැලසෙන්නේ කොහොමද කියලා. අපි උපමාවක් අරගෙන බලමු, Computer එකකට හිතක් තියෙනවද? ඒකට හිතක් නැති වුනත් අවශ්‍ය කරන දත්තයන් ගැබ් කර අවශ්‍ය වෙලාවට ඒකෙන් ප්‍රතිචාර ලබා ගන්න පුලුවන්. බෝධීන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ පාරමිතා පූර්ණ කරපු හේතූන්ගෙන් හට ගත්ත දත්තයන් කවපු මහා Computer එකක්. බුදුරජාණන් වහන්සේගේ පාරමිතා ගුනයේ ස්භාවය නම්, යම් කිසි කෙනෙක් මාගෙන් පිලිසරණක් බලා පොරොත්තු වුනොත් ඒ පිලිසරණ ලබා දෙන්න ක්‍රියා කරනවා කියන එකයි. යම් කෙනෙක් යහපත් ගුණ ධර්මයෙන් යුක්තව ඒ ආශිර්වාදය ලබා ගන්න ගියොත් Computer එකෙන් දත්තයන් ලබා ගන්නවා වගේ ඒ ශාන්තිය ලබා ගන්න පුළුවන්. බලාපොරොත්තු වෙච්ච නැති කෙනාට ආශිර්වාදය ලැබෙන්නේ නැහැ, ලබන්න හේතු නැති නිසා.

ඉතින් බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණ සිහි කරලා, බෝධීන් වහන්සේට කළගුණ සැලකීම් වශයෙන් කරන වන්දනා මාන, පූජා සත්කාර, ජලය වත්කිරීම් ආදිය චිත්තප්‍රසාදයෙන් සිදු කිරීමෙන් මහත් ශාන්තියක් ලබාගන්න පුළුවන්.

දැන් යම් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වුනොත් කොහොමද අපි නිවැරදි බෝධි පූජාවක් කරන්නෙ කියලා. ඒ ගැන දැන ගන්න මේ වටිනා ධර්ම දේශණයට සවන් දෙන්න.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

හරි මාර්ගය දැන ගනිමු

මුලින්ම අපි දැන ගන්න ඕනේ බුදු දහම කියන්නේ දැකලා යන ගමනක් මිස ගිහින් දකින ගමනක් නොවන බව. ඒ කියන්නේ දිනුම කනුවක් තියෙනවා, එකට යන පාරක් තියෙනවා, ඔන්න ඕක මුලින් දකින්න ඕනේ. ඕක දැක්ක කෙනාට කාගෙන්වත් පාර අහන්න ඕනෙත් නෑ දිනුම කනුව කොහෙද කියලා අහන්න ඕනෙත් නෑ. තමන් ඒක දැකලා තියෙන්නෙ. හැබැයි දැක්කට තවම එතනට ගිහිල්ල නෑ. ඊට පස්සේ දැකපු පාර දිගේ ගිහිල්ලා දිනුම කනුව ස්පර්ෂ කරනවා. දැන් මෙතන කාරනා දෙකක් තියෙනවා. එකක් තමයි පාර දැක්කා, දිනුම් කනුව දැක්කා. අනෙක තමයි දැකපු පාර දිගේ අනුගමනය කරමින් ගිහින් දිනුම් කනුව ස්පර්ෂ කලා.

මෙන්න මේ වගෙ බුදු දහම තුල නිවනත් නිවන් මගත් පලමුව දකින්න ඕනෙ. අන්න ඒ දැකපු කෙනාට තමයි ඒ මග අනුගමනය කරන්න පුලුවන්, අනුගමනය කරලා නිවන අත්දකින්න පුලුවන් වෙන්නේ.

මුලිම අපි දැනගන්න ඕනේ ඥානයට ඝෝචර වෙන ධර්මයක් බුදු දහම තුල තියෙනවා. එහි පලවෙනි අවස්ථාවට කියනවා පූර්ව භාග නුවන. ඒකේ ප්‍රතිඵලයට කියනවා “මග නැණ” (මාර්ගක් ඥානය). පූර්ව භාග නුවන පලමුව පහල වෙනවා. මග නැණ පසුව පහල වෙනවා.

මෙන්න මේ පූර්ව භාග නුවන පහල වෙන්නෙ අනිච්ච, දුක්ක, අනත්ත කියන මේ ත්‍රිලක්ෂනය හරියට තේරුම් ගිය දාටයි. මේ පූර්ව භාග නුවනේ යම් අඩු පාඩුවක් තිබුනොත් කවදාවත් ඔහුට මග හරියට පෙනෙන්නෙ නෑ, ඵලය හරියට පෙනෙන්නෙ නෑ. එහෙනම් නොපෙනෙන මග ගමන් කරලා ප්‍රතිඵල ලබන්න බෑ. එහෙනම් අත්‍යාවශම කාරනය වෙන්න ඕනෙ මාර්ගය හරියට පෙන්න ඕනෙ, ඒ මාර්ගය නිසා ලබන නිවන කුමක්ද කියා හරියට දැනෙන්න ඕනෙ, වැටහෙන්න ඕනෙ.

දැන් ඔබට ප්‍රශනයක් ඇති මම කොහෙන්ද පටන් ගන්නේ කියලා. මේ වටිනා ධර්ම දේශණයට සවන් දෙන්න, පටන් ගන්න එක විදිහක් ගැන හොඳට විග්‍රහ කරලා තියෙන්වා.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න