මොකක්ද මේ ග්‍රහ අපල වලට හේතුව?

අපේ හඳහන බලපු කෙනා කියනවා ඔයාට අපලයක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ බෝහෝ විට බෝධි ජූජා හතක් තියන්න, විසි එකක් තියන්න, කොඩි වැල් එල්ලන්න, දේව පූජා තියන්න, යන්ත්‍ර දාන්න, සතුන් නිදහස් කරන්න ආදි නොයෙකුක් දේවල් පස්සේ දුවනවා හේතු ඵලය දන්නේ නැති නිසා.

නිකමටවත් අපි කාටත් හිතුනද? අපල කියන්නේ මොනවද කියලා. ඒක නිසා මුලින්ම දැන ගන්න ඕනේ මොනවද මේ අපල කියන්නෙ කියලා. අපි විසින් ලෝකයාට (පෙර හෝ මේ අත්බැවේදි) කරපු අපරාදයක්, විනාශයක්, අවැඩක්, අසාධාරනයක් වගේ එකක ප්‍රතිඵලයක් තමයි අපලයක් කියන්නේ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ තාරකා මොනවා කරන්නද, උඹලා කර ගත්ත දේවල් උඹලට ඵල දෙනවා කියලා. ඒවායේ බලපෑමක් නැහැ කියන එක නෙමෙයි මෙතන කියන්නේ. අපි දැන ගන්න ඕනෙ කර්ම ඵල වලට අනුව මේ වාගේ දුක් කරදර එන්න, අපි හේතුවක් හදලා තියෙනවා කියන එක. ඒක මුල් කරගෙන තමයි ඒවා ඇදිලා එන්නෙ. ඕවා ඵල දෙන අවස්ථාවන් කලින් දැන ගන්න පුලුවන් එක් ලෞකික ශාස්ත්‍රයක් තමයි ජෝතිෂ්‍යය කියන්නේ.

දැන් ඔය හැම එකක්ම ඵල දෙන්න ඒවාට සුදුසු පරිසරයක් හැදිලා තියෙන්නත් ඕනේ (හරියට කාර් එකක් ගමන් කරන්න රෝද හතරම ඕන වගෙ). නැත්නම් අපි පරිසරයක් සකස් කරගෙන ඉන්න ඕනේ. උපමාවක් කියනවා නම් වී ඇටයක් අටුවේ තිබ්බට පැල වෙන්නෙ නැහැ. ඒක සුදුසු (මඩ, ජලය, පොහොර, උෂ්ණත්වය) පරිසරයක පැලකලාම පැලවෙනවා. හැබැයි ආනන්තරීය අකුසල් වලට මේක ගැලපෙන්නේ නැහැ. ඒවා බාහිර පරිසරය හදාගෙනම පලිසන් දෙනවා.

එතකොට සෙනසුරු අපල කියන්නෙ ? කවුද සෙනසුරු කියන්නේ, දෙවි කෙනෙක්ද වගේ ප්‍රශ්ණත් එන්න පුළුවන්, අපි බලමු මේ දේවතාවන්ගේ තියෙන සම්බනධතාවය මොකක්ද කියලා. දැන් හිතන්න එක්තරා පිරිසක් ඉන්නවා, ලෝකයට කරදර කරන අය ඉන්නවා නම් ඒ පුද්ගලයින් එක්ක තර්ක කරලා හැපිලා, ගැටිලා මැඩ පවත්වන්න කටයුතු කරන. මෙන්න මේ ගති ලක්ෂණය යම් කෙනෙක් ලග තිබුනා නම් අන්න ඒ පුද්ගලයෝ බොහෝ අයගේ යහපත වෙනුවෙන් අයුක්තියට අසාධාරණයට පහර ගහලා (හැබැයි ලෞකිකයි) ඒ ලැබුනු පිනෙන් ගිහිල්ලා උපදිනවා ලෝක පාලක දෙවි දේවතාවන් හැටියට.

සසර ගමනේදී අපි අනුන්ට හෙන ගෙඩි දුන්නානම්, දුක් ගිනි දුන්නානම් ඒ පුද්ගලයාට දුක් ගිනි දුන්න එකේ විපාකයක් වශයෙන් ඇදිලා එනවා අනුන්ගෙන් ආධාරයක්, උපකාරයක් නොලැබෙන, දුක් කරදර ඇතිවෙන පරිසර මානසිකත්වයක් ගොඩ නැගෙන්න හේතු වෙන පරිසරයක්. ඒ අවස්ථා වල ඒ සදහා කටයුතු කරන්න ඉන්න ලෝක පාලක දේවතාවන්ට උදව් කරන්න හිතෙන්නේ නැහැ. ඒක හරියට අපිට හැම හිඟන මනුස්සයෙකුටම උපකාර කරන්න හිතෙන්නේ නැහැ වගේ දෙයක්.

මේක පැහැදිලි කර ගන්න අපි බලමු සෙනසුරු ලබපු වෙලාවට ගොඩක් අයට කරදර එන්නෙ කොහොමද කියලා. අපි ලෝකයාට කරපු අවැඩ, අසාධාරන පලිසන් දෙන වෙලාවට කියනවා සෙනසුරු අපල වෙනවා කියලා. අනුන්ට ඊරිසියා කරන, වෛර කරන හිංගි,හිංසා කරන, නීච කරන වැඩ පිලිවෙලක් කරගෙන යනවා නම් අපි ලඟ පරිසරයක් හැදිලා එනවා අපි පෙර කරපු එකේ විපකය ඇදිලා එන්න (හරියට ඉහත කිව්ව වී ඇටය පැල කරන්න අවශ්‍ය පරිසරය වගේ). ඕකට කියනවා අනන්තර සමනන්තර ප්‍රත්‍ය ක්‍රමය කියලා. මෙන්න මේ වෙලාව වෙන කොට තමයි අර ග්‍රහ දේවතාවන්ටත් අහු වෙන්නේ ඔය කොටස. ඉතින් අපි දැනුත් ඊරිසියා, වෛර, ක්‍රෝධ කරන ගමන් ග්‍රහ දේවතාවන්ටත් පූජා වට්ටියක් දීලා සැනසිල්ලක් බලපොරොත්තු වෙනවා. අපි දකින්න ඕනේ ග්‍රහ දේවතාවන් සතුටු වෙන්නේ කොහොමද කියලා. ග්‍රහ දේවතාවන් පෙර මනුෂ්‍යයන් වෙලා ඉන්න කලේ සතුටු වුනේ අනුන්ට අයහපතක් නොකරනවා නම්. එහෙනම් අදත් ඒ පුද්ගයන්ගෙ තියෙන ගති ලක්ෂනය වෙන්න ඕනෙ ඒක නේද.

ඒ වගේම ජෝතිෂ්‍යයේ මෙහෙම කියලා තියෙනව “පංච දුෂ්චරිතයෙන් වැලකෙන්නන්ට ග්‍රහයෝ අපල නොකෙරෙති”.

ඉතින් මේ ග්‍රහ අපල නැති කර ගන්නා ආකාරය ඊලඟ පෝස්ට් එකෙන් විස්තර කරන්නම්.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

මළ ගෙවල්වල එල්ලෙන “අනිච්ඡාවත සංඛාරා” බැනර් එක

අපි මළගෙයකට ගියාම, ගොඩක් වෙලාවට දකින එකක් තමයි, “අනිච්ඡාවත සංඛාරා” ලොකු කළු අකුරෙන් ලියලා බැනර් එකක් එල්ලලා තියෙනවා. ඉතින් නිකමටවත් අපිට හිතුනද මොකක්ද මේ කියලා තියෙන්නේ? මේකෙ සැඟවුණු දහම් අරුතක් තියෙනවාද කියළා. ඇහුවාම කියන්නේ “සියළුම සංස්කාරයෝ අනිත්‍යයි” කියළානේ. ඕකෙන් මොනවද අපි දැකපු සත්‍ය. මෙයින් කියවෙන ධර්මතාවය ගැන අවබෝධ වී ඇත්තේ කීයෙන් කීදෙනාටද. මෙම ගාථාව අරිහතුන් වහන්සේලා නිතර භාවිතා කරපු, අවබෝධ කරගත්ත ධර්මතාවයේ ගාථාවක්. මහරහතන් වහන්සේලා තමන්ගේ යථාවබෝධය ලැබුනායින් පසු උන් වහන්සේලා මේ ලෝකේ දැක්ක හැටි විස්තර කරන ගාථාවක්.

සාරයි කියන දෘෂ්ඨියේ ඉඳගෙන, හිතනවා නම්, කියනවා නම්, කරනවා නම්, ඔය වැඩ පිළිවෙල කැමති සේ නැති වැඩ පිළිවෙලක්. කැමති සේ පවත්වාගෙන යන්න උත්සහ කරන, කැමතිසේ පවත්වන්න බැරි වැඩ පිළිවලක්. සංඛාර අනිච්ඡයි කිව්වේ ඕකයි. එදා කෙනෙක් මිය ගිය පසු ඔහුගේ හෝ ඇයගේ මළ ගෙදර වැඩිය ආර්‍යය භික්‍ෂූන්වහන්සේ, සංඛාරයන්ගේ අනිච්ඡතාවය පෙන්වන්න හොඳම අවස්ථාව ලෙස ගෙන ඕක විස්තර කලා.

මෙය උපමා වශයෙන් බලමු. හොඳම උදාහරණය ලගම තියෙනවා. මෙච්චර කල් හිතන් හිටියේ කොහොමද ලෝකේ අල්ලන්න නේද දැඟලුවේ ඉන්නකල්. ලොකුකම් කරගෙන, ගහබැන ගෙන, මරාගෙන ,අයිතිවාසිකම් කියාගෙන කොහොමද හිටියේ. මොකද අද වුනේ. ලස්සන කරන්න, හැඩ වැඩ කරන්න, සුන්දර කරන්න, මේ ශරිරය පෝෂණය කරන්න දඟලලා අද මොකද වෙලා තියෙන්නේ. ඔය කරපු වැඩ පිලිවෙලේ හරය දැන් පේනවා නේද. අපේ කැමැත්ත, හොද හැටියට පවත්ව ගන්න. නමුත් උනේ මොකක්ද ඔක්කොම නැතිවෙලා ගියා. මෙන්න මේ ශරිරය දිහා බලලා ඕක තේරුම් ගන්න කියලා එදා හිටපු පිරිසට ධර්මයක් දේශනා කලා. ඔය හරියටම දැකලා අවබෝධ කරගෙන කියූ ගාථාව තමයි අද සම්ප්‍රදායක් විදියට මළ ගෙදරට ඇවිල්ලා භික්ෂූන් වහන්සේලා දැන් කියන්නේ.

ඕක බලාගෙන හිතාගන්න ඔය ගොල්ලොත් ඉපදුනා නම් ඔය වගේම වැනසිලා යනවා. හදාගෙන, රැකගෙන, පෝෂණය කරගෙන ඉන්න හැදුවත් හම්බවෙන්නේ නැහැ. ඔය අසහනය නවත්වා ගත්තේ නැත්නම් ගමන ඉවර නැහැ. නැවතක් ඔය වගේ දෙයකට උරුමකම් කියනවා. ඕක තමයි අපි මෙච්චර කල් ආපු ගමන. ඔය ගමනෙ හරයක් හම්බවුනාද ? එහෙනම් මොකද්ද හරය. ඔය බලාපොරොත්තු සදහටම නැතිවෙලා ගියා නම් එදාට අසහනයෙන් නිදහස් වෙනවා, පැවැත්මෙනුත් නිදහස් වෙනවා. ඔය මළ මිනිය බලලා ඕක තේරුම් ගන්න කියලා විග්‍රහ කරලා දුන්නා.

(ඉහත කරුනු සම්පාදනය කලේ මේ ධර්මදේශණාව ඇසුරෙන්)

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න