බෞද්ධයකු සංවේගය උපදවිය යුතු ස්ථාන

බෞද්ධයකු වශයෙන් දැක බලාගෙන සංවේගය උපදවිය යුතු තැන් වශයෙන් සඳහන් වන ස්ථාන හතරක් ලෝක සම්මතයයේ තියෙනවා. මේ ස්ථාන හතර අද බොහෝ බෞද්ධයෝ වැඳ පුදා ගන්නවා. හැබැයි ඉතින් ඕක විතරක් කර කර ඉදලා මැරෙන වෙලාවට මොකෙකුට හරි විනාශයක් කරපු එකක් හරි, වටිනා කියන වස්තුවක් ගැන හිතුනොත් ඒකා යන්නෙ දුගතියකට. මොකද, අපි ලුම්බිණිය, බුද්ධගයාව, ඉසිපතනය සහ කුසිණාරාව වැඳ පුදාගෙන සංවේගය වෙලා අපේ විමුක්තියට එක් කර ගත්ත දෙයක් නැති නිසා. මෙන්න මේකයි අපි හිතන්න ඕනේ.

බුදුපියාණන් වහන්සේ පිරිණිවන් පාන මොහොතට ලඟා වන විට එය දැනගත් ආනන්ද හාමුදුරුවෝ අඞන්න පටන් ගත්තා. එවිට උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කලේ මේ හට ගත්ත සියලුම සංස්කාරයෝ අනිච්ඡයි කියල මම කියල තියෙනව නේද.. හට ගත් යමක් ඇත්නම් විපරිණාමයට පත් වෙනවා, වැනසෙනවා කියලා තියෙනවා නේද. එහෙනම් මොකටද මේ අඞන්නේ.

ඉතින් උන්වහන්සේ මෙසේ වැනසෙන විපරිණාමයට පත්වෙන දේවල් ගැන හිත හිතා වැලපෙන්න කියළා නෙමෙයි කිව්වෙ, එහෙනම් මොකද්ද අපි මේකෙන් දකින්න ඕනේ කියලා ඥාණගෝචර ආකාරයට විමසා බලමු.

ලෝකයට සෙත ශාන්තිය සලසා දුන්න මහා උත්තමයෙක් උපන්න ස්ථානය තියෙනවා, නමුත් උපන්න අවස්ථාව ඉක්ම ගිහිල්ලා. ඒ වගේම බුද්ධත්වයට පත්වුණු ස්ථානය තියෙනවා, නමුත් දැන් කෝ ඒ බුදුන්? එහෙනම් ඒ අවස්ථාවත් දැන් ඉක්ම ගිහිල්ලා. මේ ධර්ම දේශනා කරපු තැන. කෝ දැන් ඒ දේශනාව, ඒකත් දැන් නැහැ. ඊට පස්සේ පිරිණිවන්පාපු තැන, ඒකටත් සිද්ධ වෙලා තියෙන්නේ ඔය ටිකමයි. ඔය අවස්ථා හතරම ඉක්ම ගිහිල්ලා. එම ස්ථානයන්ද විපරිණාමයට විනාශයට පත් වෙමින් තියෙනවා. හැබැයි මේ අවස්තාවන් හතර මුල් කරගෙන ලැබුණ ආධාරයක් තවමත් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි ශ්‍රී සද්ධර්මය. එහෙනම් මේ ධර්මයට සිද්ධ වෙන්නෙත් කවදා හරි අර ස්ථාන හතරට සිදු වුනු ආකාරයට විපරිණාමයට පත් වෙලා වැනසිලා යන එක තමයි. හැබැයි එහෙම වෙච්ච කාලයක නම් අපිට වෙන්නේ සංවේගයට පත් වෙලා අඞන්න තමයි. ඊට කලින් අප්‍රමාදයෙන් යුක්තව තමන් මේ ධර්මය අවබෝධ කර ගන්න ඕනෙ කියල ඊට අදාල කටයුතු ටික කරගන්න පුළුවන්නම්, ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් නම් ඒකයි කරගන්න ඕන. මේවා එකක්වත් වෙනස් නොවී පිහිටන ඒවා නෙමයි. උතුමෙක් පහල වෙලා ශ්‍රී සද්ධර්මය ලොවට දේශනා කිරීමට හේතු වෙච්ච අවස්ථා හතරක් මේ ආකාරයට ගෙවිලා ගිහින්. ඕකයි අපි දකින්න ඕනේ.

තවත් උදාහරණයක් ගන්න පුළුවන්, සැරියුත් මහරහතන් වහන්සේ පිරිණිවන් පාන මොහොතේදි ආනන්ද හාමුදුරුවෝ හඞා වැලෙපෙන විට බුදුපියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, “ඇයි ආනන්ද ඔබ අඞන්නේ සාරිපුත්ත ඔබේ සීලස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවාද , නැත්නම් සමාධි ස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවද..එහෙමත් නැත්නම් ඔබගේ ප්‍රඥා ස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවද.. නැත්නම් ඔබගේ විමුක්ති ස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවද.” ආනන්ද හාමුදුරුවෝ අනේ නෑ ස්වාමීනි..කිව්වාම.. එහෙනම් ඇයි ඔබ අඞන්නේ..උන් වහන්සේ, උන් වහන්සේගේ විමුක්තිය සලසගෙන පිරිනිවන් පෑවා, ඔබ අඞා වැලපිලා ඇති ඵලය මොකක්ද කියළා.

ඉතින් අපි අද ඔය කරන දේ බුදුපියාණන් වහන්සේ අනුමත කල දෙයක් නෙමෙයි. ඉතින් යම් සංවේගයක් පවත්වනවා නම් ඒක පවත්වන්න ඕනෙ මේ විදිහට හිතලයි. හරයක් නැති හිස් ලෝකයක, තව තවත් අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ගිලි ගිලී කරගෙන යන වැඩ පිලිවෙල දැකලයි. මොන අපරාධයක්ද මම මේ කර ගන්නේ මෙච්ච්ර උත්තම අවස්තාවක් ලැබිලත් පංචකාමයන් පස්සේ දුව දුවා ඉන්නේ. අප්‍රමාදව කටයුතු කලොත් විතරයි මට විමුක්තිය සලසාගත හැක්කේ කියළා හිතට ගන්න ඕන. මේ ලෝකේ අනිච්ඡ දුක්ඛ අනත්ථ වශයෙන් වටහා ගන්න ඕන. එතකොටයි අපි ලුම්බිණිය දැක්කා, බුද්ධගයාව දැක්කා, ඉසිපතනය දැක්කා සහා කුසිණාරව දැක්කා වෙන්නෙ.

මූලාශ්‍රය: මෙම ධර්මදේශණාව ඇසුරෙනි

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

No Responses to “බෞද්ධයකු සංවේගය උපදවිය යුතු ස්ථාන”

Post a Comment