බෞද්ධයකු සංවේගය උපදවිය යුතු ස්ථාන

බෞද්ධයකු වශයෙන් දැක බලාගෙන සංවේගය උපදවිය යුතු තැන් වශයෙන් සඳහන් වන ස්ථාන හතරක් ලෝක සම්මතයයේ තියෙනවා. මේ ස්ථාන හතර අද බොහෝ බෞද්ධයෝ වැඳ පුදා ගන්නවා. හැබැයි ඉතින් ඕක විතරක් කර කර ඉදලා මැරෙන වෙලාවට මොකෙකුට හරි විනාශයක් කරපු එකක් හරි, වටිනා කියන වස්තුවක් ගැන හිතුනොත් ඒකා යන්නෙ දුගතියකට. මොකද, අපි ලුම්බිණිය, බුද්ධගයාව, ඉසිපතනය සහ කුසිණාරාව වැඳ පුදාගෙන සංවේගය වෙලා අපේ විමුක්තියට එක් කර ගත්ත දෙයක් නැති නිසා. මෙන්න මේකයි අපි හිතන්න ඕනේ.

බුදුපියාණන් වහන්සේ පිරිණිවන් පාන මොහොතට ලඟා වන විට එය දැනගත් ආනන්ද හාමුදුරුවෝ අඞන්න පටන් ගත්තා. එවිට උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කලේ මේ හට ගත්ත සියලුම සංස්කාරයෝ අනිච්ඡයි කියල මම කියල තියෙනව නේද.. හට ගත් යමක් ඇත්නම් විපරිණාමයට පත් වෙනවා, වැනසෙනවා කියලා තියෙනවා නේද. එහෙනම් මොකටද මේ අඞන්නේ.

ඉතින් උන්වහන්සේ මෙසේ වැනසෙන විපරිණාමයට පත්වෙන දේවල් ගැන හිත හිතා වැලපෙන්න කියළා නෙමෙයි කිව්වෙ, එහෙනම් මොකද්ද අපි මේකෙන් දකින්න ඕනේ කියලා ඥාණගෝචර ආකාරයට විමසා බලමු.

ලෝකයට සෙත ශාන්තිය සලසා දුන්න මහා උත්තමයෙක් උපන්න ස්ථානය තියෙනවා, නමුත් උපන්න අවස්ථාව ඉක්ම ගිහිල්ලා. ඒ වගේම බුද්ධත්වයට පත්වුණු ස්ථානය තියෙනවා, නමුත් දැන් කෝ ඒ බුදුන්? එහෙනම් ඒ අවස්ථාවත් දැන් ඉක්ම ගිහිල්ලා. මේ ධර්ම දේශනා කරපු තැන. කෝ දැන් ඒ දේශනාව, ඒකත් දැන් නැහැ. ඊට පස්සේ පිරිණිවන්පාපු තැන, ඒකටත් සිද්ධ වෙලා තියෙන්නේ ඔය ටිකමයි. ඔය අවස්ථා හතරම ඉක්ම ගිහිල්ලා. එම ස්ථානයන්ද විපරිණාමයට විනාශයට පත් වෙමින් තියෙනවා. හැබැයි මේ අවස්තාවන් හතර මුල් කරගෙන ලැබුණ ආධාරයක් තවමත් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි ශ්‍රී සද්ධර්මය. එහෙනම් මේ ධර්මයට සිද්ධ වෙන්නෙත් කවදා හරි අර ස්ථාන හතරට සිදු වුනු ආකාරයට විපරිණාමයට පත් වෙලා වැනසිලා යන එක තමයි. හැබැයි එහෙම වෙච්ච කාලයක නම් අපිට වෙන්නේ සංවේගයට පත් වෙලා අඞන්න තමයි. ඊට කලින් අප්‍රමාදයෙන් යුක්තව තමන් මේ ධර්මය අවබෝධ කර ගන්න ඕනෙ කියල ඊට අදාල කටයුතු ටික කරගන්න පුළුවන්නම්, ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් නම් ඒකයි කරගන්න ඕන. මේවා එකක්වත් වෙනස් නොවී පිහිටන ඒවා නෙමයි. උතුමෙක් පහල වෙලා ශ්‍රී සද්ධර්මය ලොවට දේශනා කිරීමට හේතු වෙච්ච අවස්ථා හතරක් මේ ආකාරයට ගෙවිලා ගිහින්. ඕකයි අපි දකින්න ඕනේ.

තවත් උදාහරණයක් ගන්න පුළුවන්, සැරියුත් මහරහතන් වහන්සේ පිරිණිවන් පාන මොහොතේදි ආනන්ද හාමුදුරුවෝ හඞා වැලෙපෙන විට බුදුපියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, “ඇයි ආනන්ද ඔබ අඞන්නේ සාරිපුත්ත ඔබේ සීලස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවාද , නැත්නම් සමාධි ස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවද..එහෙමත් නැත්නම් ඔබගේ ප්‍රඥා ස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවද.. නැත්නම් ඔබගේ විමුක්ති ස්කන්ධයවත් අරගෙන පිරිණිවන් පෑවද.” ආනන්ද හාමුදුරුවෝ අනේ නෑ ස්වාමීනි..කිව්වාම.. එහෙනම් ඇයි ඔබ අඞන්නේ..උන් වහන්සේ, උන් වහන්සේගේ විමුක්තිය සලසගෙන පිරිනිවන් පෑවා, ඔබ අඞා වැලපිලා ඇති ඵලය මොකක්ද කියළා.

ඉතින් අපි අද ඔය කරන දේ බුදුපියාණන් වහන්සේ අනුමත කල දෙයක් නෙමෙයි. ඉතින් යම් සංවේගයක් පවත්වනවා නම් ඒක පවත්වන්න ඕනෙ මේ විදිහට හිතලයි. හරයක් නැති හිස් ලෝකයක, තව තවත් අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ගිලි ගිලී කරගෙන යන වැඩ පිලිවෙල දැකලයි. මොන අපරාධයක්ද මම මේ කර ගන්නේ මෙච්ච්ර උත්තම අවස්තාවක් ලැබිලත් පංචකාමයන් පස්සේ දුව දුවා ඉන්නේ. අප්‍රමාදව කටයුතු කලොත් විතරයි මට විමුක්තිය සලසාගත හැක්කේ කියළා හිතට ගන්න ඕන. මේ ලෝකේ අනිච්ඡ දුක්ඛ අනත්ථ වශයෙන් වටහා ගන්න ඕන. එතකොටයි අපි ලුම්බිණිය දැක්කා, බුද්ධගයාව දැක්කා, ඉසිපතනය දැක්කා සහා කුසිණාරව දැක්කා වෙන්නෙ.

මූලාශ්‍රය: මෙම ධර්මදේශණාව ඇසුරෙනි

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

දැකිය යුතු සතර පෙරනිමිති

දැකිය යුතු සතර පෙර නිමිතිසතර පෙරනිමිති කියූ සැනින් අපට මතකයට නැගෙන්නේ මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක් සහ පැවදි රුවක් යන කරුණු හතරයි. කුඩා කල පටන් අප සියලු දෙනාම මේ සතර පෙර නිමිති ගැන නොයෙක් විට අසා තිබෙනවා මෙන්ම මෙකල වන විට නොයෙක් නොයෙක් පුද්ගලයන් විසින් මේ සතර පෙර නිමිති ගැන ඉදිරිපත් කරන තර්ක වාදද නැතුවා නොවේ.

සිදුහත් කුමරු අවධියේදී අප මහා බෝසතණාන් වහන්සේට මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක් දකින්නට ඉඩක් නොලැබුනේ කෙසේද යන්න බොහෝ දෙනාගේ විමසිලිමත් මනසට නැගෙන ගැටලුවකි. උදාහරණයක් ලෙස මහාමායා දේවියගේ නැත්නම් සිදුහත් කුමරුගේ මවගේ මරණය පිලිබදව ඔහු නොදැන සිටින්නට ඇත්ද? දිනෙන් දින වයස්ගත වන තම පියාවන සුද්ධෝදන රජු කුමරුන්‍ නොදුටුවේද? නැතහොත් සිදුහත් කුමරුට හෙම්බිරිස්සාවක්වත් සෑදි නැද්ද? ආදී නොයෙක් ගැටලු විමසිලිමත් මනසකට ගෝචර වීම සාමාන්‍ය දෙයකි. ඒ ඔස්සේ සිතන විට පැහැදිලි ඇත්තක් සොයාගන්නට නොහැකිවූවොත් මුලාවූ අදහස් නිගමන වලට පෙළඹීමට හැකිවීමද සාමාන්‍යය දෙයකි. කෙසේ වෙතත් විවෘතව සිතන්නට මනස මෙහෙයවන ඇත්තන් හට මේ සත්‍ය අවබෝධ කරවීම මාගේ උත්සාහයයි.

අපි මෙතනදි හොදින් තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. ඒ යමක් ඒ ඒ ආකාරයෙන්ම යථාර්තවත්ව වටහා ගැනීමත්, උඩින් බලලා ලබා ගන්න අවබෝයත් යන කාරණයයි.

මහල්ලෙක් දැක්කා කියලා කියන්නේ මොකක්ද?

“මේ මහල්ලාත් පෙර දිනයක මම වගේම තරුණ, ශක්තිමත් කයක් ඇතිව සිටි අයෙක් නොවේද? ඉතින් මේ මහල්ලා වගේම මටත් යම් දිනයක මේ වැහැරුණු සිරුරක් ඇතිව මහලු තත්වයට පත්වීමට ‍සිදුවෙනවා නොවේද? එබදු ස්වභාවයක් ඇති මම මේ රූප මදයෙන් මත්වෙලා… රුව ලස්සන කරන්නට, කල් පවත්වන්නට කටයුතු කරමින් එහිම ඇලී ගැලී කටයුතු කරනවා කියන්නේ මොන තරම් මෝඩකමක්ද? මේ මහල්ලාත් මම වගේම තරුණ අවධියේ එසේ මේ රුව පවත්වන්නට කටයුතු කරන්න ඇති. ඒත් ඔහුටත් / ඇයටත් එය කරගන්නට බැරිවෙලා නේද? මොනතරම් හරයක් නැති කටයුතු වලද මම නිරත වෙලා ඉන්නේ…” ලෙසින් ඔබට මහල්ලෙක් දුටු විට සිතුනා නම් අන්න එතකොට ඔබට කියන්න පුළුවන් ඔබ සැබෑවටම මහල්ලෙක් දැක්කා කියලා.

මරණයක් දැක්කා කියලා කියන්නේ මොකක්ද?

“මරණයට පත් පුද්ගලයා වාගේම මමත් කවදාහරි මරණයට පත්වෙනවා. මමත් තවමත් මරණය ඉක්මවලා නැහැ. එහෙනම් එහෙම මරණයට පත්වෙන මම මේ කාම සම්පත්තියක් සුවයි… සුවයි… කියමින් එහිම ඇලී ගැලී සිදුකරන මේ විකාර වැඩපිලිවෙල මොකක්ද? හරයක් නැති වැඩපිලිවෙලක නේද මම මේ නිරත වෙලා ඉන්නේ… මේ පුද්ගලයා වගේම අනාගතයේ මරණයට පත්වෙන මම අද මේ විදියට උඩ පැන.. පැන.. සන්තෝෂ වෙමින් මුලා සහගතව කටයුතු කරන්නේ මොන හරයක් ඇතිවද. ඇත්තටම මේ අල්ලගත්ත එක දෙයක් වත් මේ පුද්ගලයා දැන් ගෙනියනවද?” කියලා මරණයක් දුටු විට ඔබගෙන් කීයෙන් කීදෙනෙකුට සිතෙන්නට ඇතිද? මරණයක් දුටු විට ඔබට එසේ සිතුණා නම් අන්න එතකොට කියන්න පුළුවන් ඔබ සැබෑවටම මරණයක් දැක්කා කියලා.

මේ ආකාරයෙන් මහල්ලා, ලෙඩා, මලකුණ කියන දේ දැකිය යුත්තේ තමන්ගේ ඥාණයෙන්. එතකම් ඉපදීමේ සිට අපේ මරණය තෙක්ම අප විසින් මහල්ලන්, ලෙඩුන්, මරණයන් දහස් ‍ගණනින් දකිනවා, ඒ ගැන අසනවා. ඒත් අප ඇත්තටම සතර පෙර නිමිති දැක්කා වෙන්නේ අපේම ඥාණයෙන් මේ දේවල ඇත්ත ස්වභාවය දැක්ක දවසටයි.

සිදුහත් කුමරුත් ඕන තරම් ඔය මහල්ලන්, ලෙඩුන්, මරණ දකින්නට ඇති. ඒත් උන්වහන්සේගේ ඥානය මුහුකුරා ගිය මොහොතක් තිබුණා. එදින තමයි උයන් කෙළියට යන සිදුහත් කුමරු මහල්ලා, ලෙඩා, මරණය, ඔන්න ඔය විදියට ඥාන ගෝචරව දැක්කේ. එහෙත් ඡන්න ඇමති දැක්කේ අප අතර සිටින බහුතරයක් පිරිස ඇහෙන් දකින මහල්ලා, ලෙඩා, මරණය දකින ආකාරය මිස ඥාන ගෝචරව නොවේ. ඉතින් නුවණින් මේ දැක්ක පෙරනිමිති තුන ගැන මෙනහි කරගෙන යන කොට තමයි දැක්කේ, මේවායෙන් මිදීමට උත්සහා කරන කෙනෙක්, පැවිද්දෙක්. තරුණයෙක් වශයෙන් මේ කරන කටයුතු වල හරයක් නැති බවත් ඒ හරයක් නැති මුලාසහගත වැඩපිලිවෙලින් හැකි ඉක්මනින් මිදිය යුතු බවත් අවබෝධ වූ නිසා තමයි උන්වහන්සේ ලෝකයෙන් මිදෙන්නටත් අප සියලු දෙනාම එයින් මුදවාගන්නටත් පියවරක් ඉදිරියට තැබුවේ.

ඉතින් මේ ලෝකයේ යථාර්තය, යථාර්තයෙන් දැක්කේ නැති එක තමයි දැක්කේ නැහැ කියලා කියන්නේ, පළමු වතාවට දැක්කා කිව්වේ.

අප මහා බෝසතාණන් වහන්සේ දුටුව ආකාරයට යථාර්තවාදිව සතර පෙරනිමිති දැක අපිත් ආර්‍ය මාර්ගයට යොමුවීමට මේ ධර්ම දේශණාව අසමු.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න